

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
ගෝලීය සමාජ පරිවර්තනයේ සුවිශේෂී අවධීන් ලෙස පළමු, දෙවැනි සහ තුන්වැනි කාර්මික විප්ලවයන් හඳුනාගත හැකි වේ. 18 වැනි සියවසේ අග භාගයේ දී ආරම්භ වූ පළමු කාර්මික විප්ලවය, වාෂ්ප බලය සහ යාන්ත්‍රික නිෂ්පාදන හඳුන්වාදීම මගින් මෙහෙයවනු ලැබූ අතර එය කර්මාන්තශාලා පද්ධතිවල සහ නාගරීකරණයේ නැගීමට හේතු විය. 19 වැනි සියවසේ අගභාගයේ දී සහ 20 වැනි සියවසේ මුල් භාගයේ සිදු වූ දෙවැනි කාර්මික විප්ලවය විදුලිය, සන්නිවේදනය, ප්‍රවාහනය සහ මහා පරිමාණ නිෂ්පාදනයේ සැලකිය යුතු දියුණුවක් ගෙන ආවේය. ඩිජිටල් විප්ලවය ලෙස ද හැඳින්වෙන තුන්වන කාර්මික විප්ලවය, 20 වැනි සියවසේ අගභාගයේදී අර්ධ සන්නායක හා පරිගණක සංවර්ධනය, ස්වයංක්‍රීයකරණය බොහොමයක් ක්ෂේත්‍ර තුළ අක්මුල් බැසගනිමින් ලෝකවාසීන්ගේ ජීවිත විශාල පරිවර්තනයකට යොමු කළේය.
මෙතෙක් පැන නැගුණ කාර්මික විප්ලව ඔස්සේ ඇමෙරිකානු හා යුරෝපා රටවල්, මෙන්ම ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි රටවලින් බැහැරව ආසියානු කලාපයේ විශේෂයෙන්ම ජපානය, දකුණු කොරියාව, චීනය සහ තායිවානය විශාල ප්‍රතිලාභ අත්පත්කර ගනිමින් ශක්තිමත් ආර්ථික ව්‍යුහයන් සහිත රාජ්‍යයන් බවට පත්විය. මෙම රාජ්‍යයන්ගේ විවිධ අංශ කාර්මිකරණය වීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල් වෙත එහි බලපෑම ක්‍රමක්‍රමයෙන් කාන්දුවීමට පටන් ගැනුණි. මෙම බලපෑම් ඔස්සේ එතෙක් කතාබහට ලක්නොවූ රටවල් පවා ආර්ථික වශයෙන් ශක්තිමත්ව නැගී සිටියේ ය. විශේෂයෙන් ම නවෝත්පාදන කෙරෙහි නව මානයකින් යොමුවූ මිනිස් ක්‍රියාකාරකම් මත නිෂ්පාදන අංශයේ මෙම පරිවර්තනීය රැල්ල, 2011 වසරේ දී සිව්වන කාර්මික විප්ලවයක Fourth Industrial Revolution (4IR) පෙර නිමිති පහල කරමින් ජර්මනියෙන් ඇරඹිණි. අනාගතය කෙරෙහි සැලකිය යුතු පරිවර්තනයක් පෙන්නුම් කළ මෙම තත්වය පෙර සිදුවූ කාර්මික විප්ලව තුනට වඩා වෙනස් තලයකට දැන් ලෝකය රැගෙන යමින් පවතියි.
ඒ අනුව අභිසාරීවූ රොබෝ තාක්ෂණය Robotics Technology ඔස්සේ ස්වයංක්‍රීයකරණය Automation, කෘත්‍රිම බුද්ධිය Artificial Intelligence ආදේශකර ගැනීම, මහා දත්ත විශ්ලේෂණය Analysis of Big Data කෙරෙහි යොමුවීම, ක්වොන්ටම් වලාකුළු පරිගණකකරණය Quantum Cloud Computing , ජාන ඉංජිනේරු විද්‍යාව Genetic Engineering හා සයිබර් භෞතික පද්ධති Cyber-Physical Systems ඇසුරකරගත් අන්තර්ජාලය මත පදනම් වූ දේවල් Internet of Things භාවිතයේ ව්‍යාප්තිය සිව්වන කාර්මික විප්ලවයේ ධාවන පථ ලෙස විවර වුණි. එකී ක්ෂේත්‍රයන්හි විෂය පථය, හැඩරුව, වේගය සහ බලපෑම හේතුවෙන් සිව්වන කාර්මික විප්ලවයේ මුහුණුවර, පෙර විප්ලව වලට වඩා වෙනස් බව ඉඳුරාම පැවසීමට හැකි වේ.

දැනටමත් අපගේ ජීවිත හා රැකියා සමග බැඳෙමින් සිදුවන වෙනස්කම් පෙර නොවූ විරූ වේගයකින් සමාජය ප්‍රතිනිර්මාණය කරමින් පවතින ආකාරය දෙස බැලීමෙන් එය අපට වඩාත් පැහැදිලි වේ. ඒ අනුව විදුලි මෝටර් රථ / Electric Vehicles හා අධිවේගී විදුලි දුම්රිය / High speed Electric Locomotive , බැටරි නිෂ්පාදන තාක්ෂණය / Battery Technology, ස්වයංක්‍රීය රිය පැදවීමේ ශක්‍යතාව Autonomous Driving Capabilities මිනිසුන් ප්‍රවාහනය කිරීමට හැකි ඩ්‍රෝන මෝටර් රථ / Drone Cars නිෂ්පාදනය මෙහි නවතම අංශ ලෙස අප ඉදිරියේ දැකගත හැකි වේ. ඒ සමඟ නිතර භාවිතයට ගතහැකි අභ්‍යවකාශ යානා නිෂ්පාදන තාක්ෂණයට අදාළ පර්යේෂණ ද විද්‍යාමාන වේ.
කෙසේ වුද මෙතෙක් නැගෙනහිර ආසියානු රටවල් කිහිපයක ඉස්මතු වූ සිව්වන කාර්මික විප්ලවයේ ආසියානු කුලකයේ ලක්ෂණ එහි නිරිතදිග කලාපය ඔස්සේ දැන් දකුණු ආසියාව වෙතට ප්‍රසාරණය වෙමින් තිබේ. ඒ අනුව, එහි භාවිතයන් කෘෂි නිෂ්පාදන ව්‍යාපාර ක්‍රියාවලීන්ගේ සිට සියලු සැපයුම් සහ සෞඛ්‍ය සේවා දක්වා සෑම අංශයකටම කාන්දු වෙමින් පවතියි. ඒ හේතුවෙන් ආසියානු කලාපයේ සෑම රටක්ම තම හැකියාවන් මත තරගකාරී ව එයට අවතීර්ණ වෙමින් සිටින බව පැහැදිලිවේ. දැනටමත් මෙහි ආශ්වාදය උකහාගන්නා රාජ්‍යයන් කිහිපයක ව්‍යුහාත්මක ස්වරුපය වටහාගැනීම මෙරට ජාතිමාමක සැමට එකසේ වැදගත් වනු ඇත.
උදාහරණයක් ලෙස 2023 දී අග්නිදිග ආසියානු කලාපයේ පමණක් රොබෝ වෙළඳපොළ වර්ධනය වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබුණි. බොහෝ කටයුතු ස්වයංක්‍රීයකරණය කිරිම හේතුවෙන් කාර්මික රොබෝවරු 10,000 කට වඩා සිටින ඉහළම රටවල් 10 න් අඩක් ආසියානු රටවල් බව වාර්තා කෙරේ. ඒ අතර, දකුණු කොරියාව, සිංගප්පූරුව, ජපානය, චීනය, හොංකොං සහ තායිවානය එම ලැයිස්තුවේ ඉහළින්ම දැකගත හැකි ය. නිෂ්පාදන කර්මාන්ත ස්වයංක්‍රීයකරණයට යොමුවීම, කෘත්‍රිම බුද්ධිය ආදේශකර ගැනීම, සෞඛ්‍ය සේවා සහ සැපයුම් ක්ෂේත්‍රයන්හි රොබෝ තාක්ෂණ භාවිත ඉහළ යාම මෙම වර්ධනයට හේතු වී තිබේ. 2023 දී පැවති මෙම ප්‍රවණතාවය මගින් පැහැදිලි කළේ භාවිත සියලුම රොබෝවරුන්ගෙන් 70% ක් ආසියානු රටවල ස්ථාපනය කර තිබෙන බව ය. ඒ වනවිට ලොව පුරා සක්‍රීය මුළු රොබෝවරුන් සංඛ්‍යාව ඒකක 4,281,585 වූ අතර එම වසරේ දී ගෝලීය ස්ථාපනයන්ගෙන් 51% ක් චීනය තුළ පමණක් දැකගත හැකි වූ බව වාර්තා වේ.
මේ අතර ප්‍රතිගෝලීයකරණයේ ප්‍රධාන ධාවකයෙකු ලෙස ලෝකයේ අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන් අභිබවා යන තීරණාත්මක ක්ෂේත්‍ර ගණනාවකින් චීනය දැනටමත් සන්නද්ධවී තිබේ. එම හැකියාවන් තවදුරටත් රට තුළ අඛණ්ඩව ව්‍යාප්ත කරමින් ව්‍යුහාත්මක ගැලපීම් හරහා චීනය ඉදිරියට ගමන් කරයි. ස්වභූමියට අනන්‍යවූ ආර්ථික දැක්මක් තුළ ඉහළ ගුණාත්මක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඔස්සේ, නොපසුබට උත්සාහය හා අරපිරිමැස්ම යටතේ සම මුහුණත් නිෂ්පාදන, නවෝත්පාදනයට නතුකරමින් පරිවර්තන ක්‍රියාවලියට සාර්ථකව මුහුණ දෙමින් චීනය එම වාසිය දිනාගෙන ඇත. එය ඇදහිය නොහැකි තරම් ආශ්වාද ජනක කතාවකි. උදාහරණයක් ලෙස, චීනය දැනටමත් මුහුණු හඳුනාගැනීමේ Facial recognition තාක්ෂණයේ ප්‍රමුඛයා වන අතර එය කෘතිම බුද්ධිය Artificial Intelligence උදෙසා භාවිත කරන තීරණාත්මක යෙදුමක් බවට පත්ව ඇත. රොබෝ තාක්ෂණය Robotics චීනයේ සංවර්ධනය කරන තවත් ප්‍රධාන ක්ෂේත්‍රයකි. මෙවැනි කටයුතු උදෙසා ප්‍රාග්ධන යෙදවුම් ආයෝජනය පිණිස කාලානුරූපව හිතකර ප්‍රතිපත්ති ගොඩනගමින් චීන රජය ව්‍යවසායකත්ව වෙත ඉලක්කය හඹායාමට මග විවරකර දී තිබේ. ඒ තුලින් සිව්වන කාර්මික විප්ලවයේ ඉදිරිපෙළ පළමු ධාවකයා වීමට චීනයට හැකි වූයේ විසිවන ශත වර්ෂයේ එරට බිහිවූ දේශපාලන නායකත්වය බව පැහැදිලිම ප්‍රකාශ කරමි.

මේ අතර තාක්‍ෂණික නවෝත්පාදනයන් භාවිතය සමග නවීකරණය හඹායාමේදී රැකියා විරහිතභාවය වැනි විභව අභියෝගවලට මුහුණ දීම කෙරෙහි අවධානය යොමු කරමින් සිව්වන කාර්මික විප්ලවය උපායමාර්ගිකව වැළඳ ගැනීමට වියට්නාමය ද කටයුතු කරමින් සිටී. එරට දේශපාලන මණ්ඩලයේ 52-NQ/TW යෝජනාවේ දක්වා ඇති ඉලක්ක 2030 වන විට සපුරා ගැනීම සඳහා වියට්නාම් අග්‍රාමාත්‍යවරයා විසින් සිව්වන කාර්මික විප්ලවය පිළිබඳ ජාතික උපාය මාර්ගික මාර්ගෝපදේශයක් නිකුත්කර තිබීම එයට හොඳම උදාහරණයයි. එයට පසුබිම සකසමින් ලෝක ආර්ථික සංසදය එරට, හෝ චි මිං නගරයේ C4IR මධ්‍යස්ථානය පිහිටුවීමට දායකවීම ඔස්සේ නව ආයෝජන ප්‍රවර්ධනය කිරීමට, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ආර්ථික තරගකාරිත්වය වැඩි දියුණු කිරීම අරභයා ප්‍රතිපත්ති සැකසීම සහ නියාමනය කිරීමට ඉඩහසර විවර කළේ ය. ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ වියට්නාම විශේෂඥයින්, පර්යේෂකයින් සහ ව්‍යාපාර අතර සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා මෙම මධ්‍යස්ථානය විශ්වාසදායක සහ ඵලදායී වේදිකාවක් බවට දැන් පත්ව ඇත. ඒ ඔස්සේ තම අසල්වැසියන් සමඟ තරඟකාරීව නැගීසිටීමට සහ පවතින විභවයන් ගවේෂණය කිරීම උදෙසා එම කර්මාන්තවල තාක්‍ෂණික මට්ටම් ඉහළ නැංවිමට වියට්නාමය කටයුතු කරන ආකාරය දැකගත හැකි වේ.
එමෙන්ම ඩිජිටල් පරිවර්තනය වැළඳ ගැනීමට සහ ගෝලීය තරඟකාරිත්වයට මුහුණ දීමට හැකි මාර්ග සිතියමක් වන Making Indonesia 4.0 ක්‍රියාත්මක කිරීම ඔස්සේ ඉන්දුනීසියාව සිව්වන කාර්මික විප්ලවයට කල්තියා සැරසී ඇත. ඒ අනුව 2030 වන විට, ඉන්දුනීසියාව ලෝකයේ විශාලතම ආර්ථිකයන් 10 න් එකක් බවට පත්වීම ඔවුන්ගේ අරමුණු වී තිබේ. ඒ යටතේ නිෂ්පාදන අංශයේ සමගාමී අංශ සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගත් ප්‍රවාහය පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, කාර්මික කලාප නැවත සැලසුම් කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බල ගැන්වීම, රට පුරා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැගීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම හා නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම ආදී ජාතික ප්‍රමුඛතා දහයක් සංවර්ධනයට නතු කර ඇත. ඒ සඳහා රජයේ බලධාරීන්, කාර්මික සංගම් සහ සමාගම්වල සිට විශ්ව විද්‍යාල සහ ආයෝජකයින් දක්වා බොහෝ පාර්ශවකරුවන් සහාය දක්වයි. එමෙන්ම වෙළඳපල කොටස වැඩි කිරීම සඳහා අන්තර්ජාලය මත පදනම් වූ දේවල් සහ මෝටර් රථ ස්වයංක්‍රීයකරණය කෙරෙහි එකී මුලපිරීම යටතේ එරට අවධානය යොමුකර ඇති ආකාරය අපට ද ආදර්ශයට ගතහැකි ය.
මේ අතර සිව්වන කාර්මික විප්ලවයට අනුගතවීමට ඉන්දියාවට ඇති හැකියාව අවබෝධ කරගත් ලෝක ආර්ථික සංසදය, එරට මහාරාෂ්ට්‍රයේ මුම්බායි හි සිව්වන කාර්මික විප්ලවය සඳහා වූ මධ්‍යස්ථානයක් C4IR India පිහිටුවීම සඳහා 2018 දී ඉන්දීය රජය සමඟ සහයෝගයෙන් කටයුතු කළේය. පසුගිය වසර හය තුළ, ඉන්දියාව පුරා පුරවැසියන් මිලියන 1.25 කට සෘජුවම එමගින් අර්ථවත් වෙනසක් උදාකර දී තිබේ. තාක්ෂණික පරිණාමය ඔස්සේ ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් වශයෙන් ඩිජිටල් නවෝත්පාදන සඳහා ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ඉන්දියාව ඉදිරියෙන්ම සිටින බව ලෝක ආර්ථික සංසදය 2025 ජනවාරි 20 දින ප්‍රකාශ කිරීමෙන් ඒ බව සනාථ වේ.
සිව්වන කාර්මික විප්ලවය හමුවේ බංග්ලාදේශ රජය 2009 වසරේදී ඩිජිටල් බංග්ලාදේශ් Digital Bangladesh හඳුන්වාදීමත් සමඟ රට නිවැරදි දිශාවකට යොමුකිරීමට පියවර තැබී ය. එහි අරමුණ වූයේ 2026, 2031 සහ 2041 වසර සඳහා නිශ්චිත වර්ධන ඉලක්ක තබා කටයුතු කිරීමයි. ඒ අනුව 2041 වන විට බංග්ලාදේශය ඩිජිටල්කරණය හා දැනුම පදනම් කරගත් ඉහළ ආදායමක් ජනනය කරන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට අපේක්ෂා කෙරේ. ඒ උදෙසා දශකයකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් පැමිණි ගමනේ ප්‍රතිලාභ අත්පත්කර ගැනීමට වත්මන් බංග්ලාදේශ රජය සිය අභිලාශකාමී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංගවීම උදෙසා දැන් ක්‍රියාකරමින් සිටියි. එනමුත් ඩිජිටල්කරණයට අවැසි යටිතල පහසුකම් නොමැතිකම, කුසලතා වෙන් පරිපූර්ණ ශ්‍රම බලකායේ හිඟය සහ නියාමන හිඩැස් එම බොහොමයක් ප්‍රතිලාභ අත්පත්කර ගැනීමට බාධාවක්ව පවතියි. ඉලක්කගත මැදිහත්වීම් සමඟ ආමන්ත්‍රණය නොකළහොත්, එකී විෂමතා අඩු කිරීමේ උත්සාහයන්ට බාධා ගෙනෙනු ඇත. කෙසේ වුවද තාක්‍ෂණය මත පදනම් කරගත් විවිධාංගීකරණය වූ ආර්ථිකයකට මාරුවීම ඔස්සේ සිව්වන කාර්මික විප්ලවය තුලින් නැගී සිටීමට තවමත් බංගලිදේශයට අවස්ථාව තිබේ.

මේ අතර මැලේසියාව එරට ආර්ථික අමාත්‍යාංශය යටතේ ආයතනයක් ලෙස 2021 සැප්තැම්බර් 13 වන දින පිහිටුවන ලද MyDIGITAL සමායතනය ඔස්සේ ඉහළ ආදායම් ලබන ජාතියක් සහ ඩිජිටල් ආර්ථිකයේ කලාපීය ප්‍රමුඛයෙකු බවට මැලේසියාව පරිවර්තනය කිරීමේ රජයේ අභිලාෂයන් සාර්ථක කරගැනීමට පියවර තබන ලදී. එහි දිගුවක් ලෙස 2023 දී සිව්වන කාර්මික විප්ලවය සඳහා වූ මධ්‍යස්ථානය C4IR Malaysia නිල වශයෙන් දියත් කරමින් ඩිජිටල් ආර්ථිකයක් අරභයා තීරණාත්මක කාර්යභාරයක් ඔස්සේ රට තුළ ඩිජිටල් පරිවර්තනයට සහ හරිත බලශක්ති සංක්‍රාන්තිය ඇතුළු අංශ රැසක් වේගයෙන් සංවර්ධනයට අවධානය යොමු කර තිබේ. ඒ උදෙසා මැලේසියානු රජය, ව්‍යාපාර, සිවිල් සමාජය, වෘත්තිකයින්ගේ සහ අනෙකුත් අංශවල නායකයින්ගේ අදහස් නිරතුරුව අපේක්ෂා කරයි. මැලේසියාව ඩිජිටල් ලෙස මෙහෙයවන, ඉහළ ආදායම් ලබන ජාතියක් සහ කලාපීය නායකයෙකු බවට පරිවර්තනය කිරීම අරමුණු කරගත් ජාතික මුලපිරීමක් වන MyDIGITAL Corporation විසින් මෙම මධ්‍යස්ථානය සත්කාරකත්වය දරනු ලැබේ. මෙම මුලපිරීම නවෝත්පාදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු බවට පත්වීමේ මැලේසියානු ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මෙවැනි වාතාවරණයක් හමුවේ, අපනයනය ප්‍රමුඛ වෙළදාම හා සේවාවන් මත පමණක් බැඳුණ නිෂ්පාදන කර්මාන්ත මත යැපෙන ආකෘතියක් ඇති අප රටට සිව්වන කාර්මික විප්ලවය සමගින් ගමන්කළ යුතු දිශානතිය ගැන පැහැදිලි දැක්මක් තිබේද යන්න ගැටළුවකි. ශ්‍රී ලංකාවට අනෙකුත් කර්මාන්ත සඳහා සංරචක සහ නිමි පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු පුළුල් පරාසයක ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බව ඇතැම් අංශ වෙතින් වාර්ථා වේ. එහෙයින් මුද්‍රිත පරිපථ පුවරු Printed Circuit Boards, අර්ධ සන්නායක Semiconductors මෙන්ම සූර්ය පැනල Solar Panels, රූපවාහිනී සහ පරිගණක අමතර කොටස් නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම කාලෝචිතවනු ඇත. එමෙන්ම සිව්වන කාර්මික විප්ලවය සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමට නම්, අන්තර්ජාලය මත පදනම්වූ දේ සමගින් කෘෂිබෝග තත්වයන් සහ පශු සම්පත් නිරීක්ෂණය කිරීම සඳහා අවැසි උපාංග මෙන්ම අදාල දත්ත විශ්ලේෂණය සඳහා කෘත්‍රිම බුද්ධිය-බලගැන්වූ මෙවලම් නිර්මාණය කිරීමට ද යොමුවිය හැකිය. එමෙන්ම රොබෝ නිෂ්පාදනයට භාවිතා කරන ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදන හා සංවර්ධනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකාවට අවධානය යොමු කළ හැකි තවත් පැතිකඩකි. විශේෂයෙන්ම සුහුරු බලශක්ති කළමනාකරණ පද්ධති සහ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති ඇතුළුව සුහුරු නගර ගොඩනගා සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකිරීම මෙරට වගකිවයුතු දේශපාලනඥයින්ගේ යුතුකමයි.
මෙවැනි දේ යෝජනා වූ සැනින්ම ඒවා විවේචනයකර බැහැර කිරීම වෙනුවට ඒ සඳහා ආයෝජනය කළහැකි දේශීය හෝ විදේශීය ව්‍යවසායකයින් උදෙසා ආමන්ත්‍රණය කිරිමත් එවැනි ව්‍යවසායයන් උදෙසා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට හා නිමි නිෂ්පාදන අපනයනයට බදු සහන ලබාදිය යුතු අතර ඒ සදහා අවැසි යටිතල පහසුකම් සහිත පිරිසිදු පරිසරයක් නිර්මාණය කලයුතු ද වේ. කෙසේ වුවද ඩිජිටල්කරණය ව්‍යාප්ත කිරීමට දැනටමත් රජය දරන උත්සාහය අප අගය කළ යුතු වේ. එය ගෝලීය ආයෝජකයින් සඳහා වාසිදායක පරිසරයක් ගොඩනැගීමට ද ඉවහල් වනු ඇත. ඊට සමරූපීය පරිවර්තනයට අනුගතවිය හැකි තාක්ෂණික දැනුමැති තරුණ ශ්‍රම බලකායක් වර්ධනයවීම, ප්‍රධාන නැව්ගත කිරීමේ සහ වෙළඳ මාර්ගයන්හි උපායමාර්ගික ස්ථානයක ලංකාව පිහිටීම, පුනර්ජනනීය බලශක්ති නිපදවා ගැනීමට ඇති පුළුළ් විභවය මෙන්ම දැනුම පදනම් කරගත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රජයේ අභිලාෂය, ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාපාරික අවස්ථාවන් සොයන විදේශීය ආයෝජකයින් සඳහා ඉතා ආකර්ෂණීය වටපිටාවක් නිර්මාණයකරනු ඇත.
මේ අතර ආර්ථික අර්බුද, ස්වාභාවික විපත්, විදෙස් මැදිහත්වීම් සහ ඉහළ උද්ධමනයක අඳුරු සෙවණැලි වෙතින් ශ්‍රී ලංකාව යළි නැගී සිටීමේ කතාව ලියමින් සිටියි. ආර්ථිකය ක්‍රමයෙන් ස්ථාවර වන විටදී, එය 2024/25 මූල්‍ය වර්ෂයේදී 2.7% කින් සහ 2025/26 මූල්‍ය වර්ෂයන් හිදී 3.1% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබෙන අතර රටට ශුභවාදී අනාගතයක් සඳහා ශක්තිමත් පදනමක් එමගින් පෙන්නුම් කරයි. එසේ වුවද, දුබල මූල්‍ය කළමනාකරණය හා නොසලකා හැරීමේ පිළිවෙත් තුළ හිඳින රාජ්‍ය සේවා නියුක්තිකයින් මෙන්ම නීතිය අපගමනයට යොමුකරවන පිරිස් කෙරෙහි වත්මන් රජය තවදුරටත් සිය අවධානය යොමු කළයුතු වේ.
ඒ අනුව සිව්වන කාර්මික විප්ලවය හමුවේ ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යාමට අපේ කාලයේ වඩාත්ම උද්යෝගිමත් සහ ආශ්වාදජනක විපර්යාසයක් කිරීමට රජයට හැකියාව ලැබෙනු ඇත. එය අභිලාෂකාමී සහ හැකියාව ඇති නව ගම්‍යතාවයන් සහිත ආර්ථිකයක් ගොඩනගන ජාතියකගේ කතාවක් වනු නොඅනුමාන ය.
(Industrial Automation Asia, World Economic Forum, Tech Collective, Mydigital Malaysia & Thailand Business news ඇසුරෙනි.)
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ