
අපේ ගෘහණියන් ඉවුම් – පිහුම්වලදී බහුලව භාවිතා කරන, රසකාරකයක් ලෙස ප්‍රසිද්ධ ගොරකා “ගාර්සීනියා කැම්බෝජියා / GarciniaCambogia” ගැන අපි දැන සිටියේ ඈත අතීතයේ සිට ය.
ඈත අතීතයේ පමණක් නොව මෑත කාලයේ ද, (ඇතැම් විට අද පවා) ගම්මානවලට පැමිණි වෙළෙඳුන් විසින් ‘ගොරකා’ තොග වශයෙන් මිලදී ගත් අතර පසුව ඒවා සියල්ලම නගරය තුළ අලෙවිකර තිබුණේ ‘කිසිදු පිරිසිදු කිරීමකට ලක් නොකර’ය. එහි ප්‍රතිඵලයක් ලෙස නාගරික සහ අර්ධ නාගරික වෙළඳපොළ තුළ ගොරකා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ විශ්වාසය අවම මට්ටමක පැවතුණේය. මේ අවිශ්වාසය හේතුවෙන් ගොරකා සඳහා වන ඉල්ලුම ද අවම මට්ටමක පැවතියේය.
මේ අතර කාන්තා ව්‍යවසායිකාවක වන ‘ජෙනිකා සේනානි වරුසවිතාන’ මෙනෙවිය මෙම තත්ත්වයේ වෙනසක් කිරීමට උත්සාහ කළාය. එහි ප්‍රතිඵලයක් ලෙස, පළමු වරට සාම්ප්‍රදායිකව අලෙවි කළ ‘ගොරකා කෑලි’ වෙනුවට ක්‍රීම් ආකාරයෙන් ගොරකා වෙළඳපොළට හඳුන්වා දීමට ඇයට හැකි විය. මෙය අද පවතින තරඟකාරී ජීවන රටාවට අනුකූල නිෂ්පාදනයක් ලෙස වෙළඳපොළට හඳුන්වා දෙන ලදි. කෙසේ වෙතත් මුල් අවධියේදී පාරිභෝගිකයින් එම නිෂ්පාදනය පිළිගැනීම සඳහා සැලකිය යුතු ආශාවක් පෙන්නුම් කළේ නැත.
කෙසේ වෙතත්, ඇය පසුබට නොවූ අතර ඒ වෙනුවට ‘මෙම තත්ත්වය ඇතිවීමට හේතුව දැන ගැනීමට’ ඇයට අවශ්‍ය විය. ඒ අනුව, වෙළඳපොළේ කලින් පැවති අහිතකර ආකල්පය සහ ගොරකා ක්‍රීම් ලෙස ලබා ගත හැකි බවට ඇති නොදැනුවත්කම එයට හේතුව බව ඇයට තේරුම් ගත හැකි විය. මේ සියලු වැරදි වැටහීම් දුරු කර, ගොරකා ක්‍රීම් වෙළඳපොළේ අත්‍යවශ්‍ය කුළුබඩුවක් බවට පත් කිරීමට ඇයට හැකි විය. මේ සමඟ Senani Products (Pvt)Ltd හි නිෂ්පාදනයක් වූ ගොරකා ක්‍රීම් රට පුරා නගරවල මෙන්ම ගම්මානවලද ඉතා වේගයෙන් ව්‍යාප්ත විය.
මේ Senani Products (Pvt)Ltd හි ආරම්භය හා ගමන් මඟ පිළිබඳ පූර්විකාවය ! දැන් අපි වර්තමානය වන විට ඉහළ පාරිභෝගික විශ්වාසයක් සහ ජනප්‍රියත්වයක් හිමි Senani Products (Pvt)Ltd හි ආරම්භය සහ එය සාර්ථකත්වය කරා පැමිණි ආකාරය සම්බන්ධයෙන් Senani Products (Pvt)Ltd නිර්මාතෘ ජෙනිකා සේනානි වරුසවිතාන මෙනවිය සමඟ සාකච්ඡා කරමු. එය ව්‍යවසායක ඔබට මෙන්ම ව්‍යවසායයෙකු හෝ ව්‍යවසායිකාවක ලෙස කටයුතු කිරීමට සිහින දකිමින් සිටින සියලු දෙනාටම අත්පොතක්, ප්‍රදීපාගාරයක් වන බව නිසැකය.

Senani Products (Pvt)Ltd හි දැක්ම
දැක්ම – ‘අපගේ දැක්ම වන්නේ උසස් තත්ත්වයේ සහ සෞඛ්‍ය සම්පන්න ආරක්ෂිත ක්‍රමයක් පවත්වා ගනිමින්, ශ්‍රී ලාංකික ප්‍රජාවට මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළට සේනානි ගොරකා / SENANI Goraka හඳුන්වා දීමයි. අද වන විට Senani Products (Pvt) Ltd පිළිගත් ප්‍රමිතීන් යටතේ පවත්වා ගනිමින් සම්මාන හා සහතික ලබා ගනිමින් කීර්තිමත් ආයතනයක් ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා” සේනානි වරුසවිතාන මහත්මිය සාකච්ඡාවට ශක්තිමත් ප්‍රවේශයක් ගනිමින් තම දැක්ම පැහැදිලි කළාය.
මේ කතාව ආරම්භයේදීම ඇයගේ ඇස්වලින් කුඩා කඳුළු බිංදු ගලා ගියා. ඇගේ කතාව අපට හරිම සංවේදීයි. ලුණු ඇඹුල් සමබරව මිශ්‍ර කරමින් ඇගේ කතාවේ රසය ඉස්මතු කරමින් ඇය අපට කතා කළා. සමස්තයක් වශයෙන් සමාජයේ කාන්තාවන්ට කළ නොහැකි දෙයක් නොමැති බව ඇය උදාහරණයකින් පැහැදිලි කළා.
මෙම කතාවේ තිරය පිටුපස කාන්තාවන්ගේ දැවැන්ත ශක්තිය, කැපවීම සහ අධිෂ්ඨානය සහ ඔරොත්තු දීමේ හැකියාව අපට හොඳින් දැකගත හැකියි. මේ අතර, ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවක ලෙස ඇය විසින් මිනිස් සෞඛ්‍යයට හානිකර රසායනික ද්‍රව්‍යවලින් තොර ස්වභාවික දේශීය නිෂ්පාදනයක් මෙරට ජනතාවට ලබාදීම පිළිබඳව කල්පනා කරන විට කතාව තවත් රසවත් වේ.
මුළුතැන්ගෙයටත් අපූරු පාඩමක්
ඇගේ කතාවේ හරය ඔබටත් ඔබේ මුළුතැන්ගෙයටත් අපූරු පාඩමක් උගන්වන්නේය. කුළුබඩු නිෂ්පාදකයින් අතර ඇය, Senani Products (Pvt) Ltd හි හිමිකාරිය ලෙස සේනානි වරුසවිතාන යන නමින් ලොව පුරා කීර්තියක් දිනා ගෙන ඇත.
“මම මිරිස් ඇඹරුම් ගල භාවිතා කර ගොරකා ක්‍රීම් නිෂ්පාදනය කර ලෝකය දිනුවා” ඇය සිනහව, ධෛර්යය හා විශ්වාසය මුසු ස්වරයෙන් පවසන්නීය.
ජපානයේ ජීවිතය සහ යළි මවුබිමට පැමිණීම
දැන් අපි ඇයට, සේනානි වරුසවිතානට ඇයගේ කතාව යළි සිහිපත් කිරීමට අවස්ථාව ලබා දෙමු,
“මගේ ව්‍යාපාරය ආරම්භ කළේ 2007 දී. නිසැකවම, මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමට සැලකිය යුතු හේතුවක් තිබුණා. මගේ ජීවිතයේ මුල් අවධියේදී මගේ සැමියා ජපානයේ ටෝකියෝවේ රැකියාවක නිරත වුණ නිසා ඒ කාලයේ අපි ජීවත් වුණේ ජපානයේ. ඒ කාලයේ අපට කිසිදු අඩුපාඩුවක් තිබුණේ නැහැ. කෙසේ වෙතත්, කාලය ගෙවී යත්ම, මගේ සැමියා බරපතළ ලෙස රෝගාතුරු වුණා. ජපානයේදී ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. නමුත් ඔහුට සුවයක් ලැබුණේ නැහැ. ඉන්පසු අපි ශ්‍රී ලංකාවට යාමට තීරණය කළා.
මට මුදල් වලට වඩා මගේ සැමියා වඩා වටිනවා, ඒ නිසා මම මගේ සැමියා සමඟ නැවත ලංකාවට ආවා. අපි 2004 දී ශ්‍රී ලංකාවට ආවා. ලංකාවට ආපසු පැමිණි විගස ම, මගේ සැමියාගේ අසනීපයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සොයා යාමට මම උත්සාහ කළා. ජපානයේ සිටිය දී අපි උපයා ගත් සියලු මුදල් මේ සඳහා වියදම් කිරීමට අපට සිදු වුණා. ටික කලකට පසු මගේ සැමියාගේ අසනීපයට අවශ්‍ය ඖෂධ සඳහා පවා වියදම් කිරීමට අපට මුදල් තිබුණේ නැහැ. අපි අපේ සියලු ආභරණ උකස් කළා. මේ හැරුණු විට අපි ඉතා අමාරුවෙන් ඉදිකරන ලද අපගේ නිවස සහ අපට අයත් වාහන විකිණීමට සිදු වුණා. අවසානයේ, අප හතර දෙනාට ජීවත් වීමට සහ අපගේ එදිනෙදා අවශ්‍යතා සඳහා කිසිවක් ඉතිරි වුණේ නැහැ.
ජපානයේ ජීවත් වන අතරතුර, මට තනිවම ව්‍යාපාරයක් කිරීමට ආශාවක් තිබුණා. ශ්‍රී ලංකාවට පැමිණි පසු මම මේ කාරණයට වඩා ඔබ්බට සිතුවා. කෙසේ වෙතත්, ව්‍යාපාරයක් මෙහෙයවීම හා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මට කිසිදු දැනුමක් තිබුණේ නැහැ. ඒත් තවත් සිහින දකිමින් සිටීමට කාලයක් මට තිබුණේ නැහැ. ඒක තීරණාත්මක හා දෛවෝපගත දවසක්, මම තීරණයක් ගත්තා. මම මහත් උද්‍යෝගයකින් යුතුව එම නරක තත්වයෙන් නැගිසිටීමට අධිෂ්ඨාන කර ගත්තා.

ගොරකා කැබලි වෙනුවට ගොරකා ක්‍රීම් වෙළෙඳ පොළට
මගේ ආච්චි මිරිස් ඇඹරුම් ගල මත ගොරකා අඹරමින් සිටින අයුරු මම දැක්කා. එ් දර්ශනය දැක්ක ගමන් මට මෙපමණ කාලයක් මා දකිමින් සිටි සිහිනය සැබෑ වන බවක් හැඟුණා. ගොරකා අඹරා යම් ව්‍යාපාරයක් කිරීමට අදහසක් මට ඇති වුණා. පළමුව දළ අදහසක් තබාගෙන මම වෙළඳපොළට ගොස් පරීක්ෂා කළා. ඒ අවධියේදී වෙළඳපොළේ ‘ගොරකා ක්‍රීම්’ ලෙස හැඳින්වෙන කිසිවක් තිබුණේ නැහැ.
ඊට පස්සේ මම ගෙදර ගිහින් මගේ ආච්චි අම්මාගෙන් ගොරකා ක්‍රීම් හදන හැටිත්, පැරණි සාම්ප්‍රදායික ක්‍රමයට කුළුබඩු යොදා මේ ගොරකා ක්‍රීම් එක හදන හැටිත් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම මගේ අදහස ගැන මගේ සැමියාගේ යාළුවාට කිව්වා. මගේ අදහස ගැන එයා මාව තවත් දිරිගැන්නුවා. පළවෙනි මොහොතේම එයා මට ගොරකා කිලෝග්‍රෑම් පහක් ගෙනත් දුන්නා. ඒ කාලේ මට තිබුණේ ගොරකා ඇඹරීමට මිරිස් ඇඹරුම් ගල විතරයි. ඊට අමතරව මට මැටි මුට්ටියක් සහ භූමිතෙල් උදුනක් තිබුණා. මේ උපකරණ තුනෙන් තමයි මට ගොරකා අඹරලා ‘ගොරකා ක්‍රීම්’ හැදුවේ.
එහිදී, ගොරකා ඇඹරීමෙන් පසු තැබීම සඳහා මම ප්ලාස්ටික් කෝප්ප කිහිපයක් මිලදී ගත්තා. කෙසේ වෙතත්, මෙම ගොරකා ක්‍රීම් ව්‍යාපාරයට නමක් භාවිතා කර තිබුණේ නැහැ. අවසානයේ මම මගේ නම ‘සේනානි’ කඩදාසියක මුද්‍රණය කර කෝප්පයේ අලවා පළමු අවස්ථා වලදී වෙළඳපොළට කෝප්ප 6ක් පමණ රැගෙන ගියා. මම පානදුර ප්‍රදේශයේ වෙළඳපොළට පයින් ගිහින් මගේ ගොරකා ක්‍රීම් බෙදා හැරියා. නමුත් මම අසමත් වුණා !
නමුත් මම මගේ අදහස අත්හැරියේ නැහැ. මම නිසැකවම මා අදහස් කළ ඕනෑම දෙයක් කරනවා. ඒ නිසා, මම ඉවත් වීමට අදහස් කළේ නැහැ, ඒ අවස්ථාවේ දී මම මගේ භාණ්ඩ Co-op City එකට භාර දුන්නා. ඉන්පසු, මගේ භාණ්ඩ වෙනත් වෙළඳ කුටිවලට බෙදා හැරීමට මට හැකි වුණා. කෙසේ වෙතත්, දින දෙකක් හෝ තුනක් ගත වූ පසුවත් මෙම භාණ්ඩ කිසිවක් අලෙවි වී තිබුණේ නැහැ. මෙයට පිළියමක් ලෙස මම මෙම කෝප්ප ඉදිරිපිට ගොරක වල ඖෂධීය වටිනාකම සහ එහි ප්‍රතිලාභ විස්තර කරන සටහනක් තැබුවා. පසුදා යම් කෝප්ප ගණනක් අලෙවි වී ඇති බව දක්නට ලැබුණා. එසේ කිරීමෙන් මගේ නිෂ්පාදන සඳහා හොඳ වෙළඳපොළක් ලබා ගත හැකියි. ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා හොඳ දැනුමක් තිබීම අවශ්‍යයි. ඒ නිසා, මම මේ කාරණය සම්බන්ධයෙන් අධ්‍යයනයන් කිරීමට පටන් ගත්තා. පානදුර විදතා මධ්‍යස්ථානයේ තාක්ෂණවේදියෙකු යටතේ මට විශාල දැනුමක් ලබා ගත හැකි වුණා.
මෙම ආයතන හරහා අපට BMICH වැනි ඉතා ජනප්‍රිය ස්ථානවල වෙළඳපොළ අවස්ථා නොමිලේ ලබා ගත හැකි වුණා.

ප්‍රමිති සහතික ලබා ගැනීම
මගේ නිෂ්පාදන සඳහා පාරිභෝගික විශ්වාසය ඉතා අත්‍යවශ්‍ය බැවින්, ඉන් පසුව, මම ප්‍රමිති සහතිකය ලබා ගැනීමට අදහස් කළා. අතීතයේ මිරිස් ඇඹරුම් ගලෙන් ආරම්භ කළ මගේ ව්‍යාපාරය වසර 11කට පමණ පසු කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන මාලාවක් නිපදවන කර්මාන්ත ශාලාවක් බවට පත්ව තිබෙනවා. ඒ ගැන මට නිහඬ ආඩම්බරයක් තිබෙනවා. මගේ මුල් නිෂ්පාදනය ගොරක ක්‍රීම් වුණත් මම දැනට වෙළඳපොළට නව නිෂ්පාදන කාණ්ඩ 12ක් පමණ හඳුන්වා දී තිබෙනවා. මේ සඳහා මම දේශීය හා විදේශීය පුහුණුව ලබාගෙන තිබෙනවා.

අමුද්‍රව්‍ය ලබා ගන්නේ කෙසේද?
දිවයින පුරා අපට අමුද්‍රව්‍ය සපයන නියෝජිතයන් සිටිනවා. නමුත් ඔවුන් ගෙන එන සෑම දෙයක්ම අපි පිළිගන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමිතිය නොමැති නම් අපි කිසිදු අමුද්‍රව්‍යයක් මිලදී ගන්නේ නැහැ. මම මෙම ආයතනය වසර 11ක සම්පූර්ණ කාලයක් පවත්වාගෙන යනවා. මෙම ක්‍රියාවලියේදී මම ඉතා ඉහළ මට්ටමකින් පාරිභෝගික විශ්වාසය දිනා ගෙන සිටිනවා. එහි මූලික පදනම ‘ප්‍රමිතිය’ වන අතර ගු’ණාත්මකභාවය’ අපගේ නිෂ්පාදනවල හරයයි. අපි ප්‍රමිතිය ඉක්මවා යන විට අපගේ නිෂ්පාදනවල කිසිදු රසායනික ද්‍රව්‍යයක් ඇතුළත් කර නොමැති බව සඳහන් කළ යුතුයි. එලෙසම කෘතිම රසකාරක, වර්ණක කාරක සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය ඇතුළත් කරන්නේ නැහැ. Senani Products (Pvt) Ltd හි නිෂ්පාදන සියල්ල 100%ක් ස්වභාවිකයි !
දේශීය නිෂ්පාදන ඇගයීමේදී ‘වස විසෙන් තොර නිෂ්පාදන’ පාරිභෝගිකයින්ට සැපයීමට Senani Products (Pvt) Ltd කටයුතු කරමින් සිටිනවා. ගොරකා ගෙන ඒමේ අදියරේ සිට අපි මෙම සියලු නිෂ්පාදන ඉතා පිරිසිදු ආකාරයකින් සිදු කරන අතර ප්‍රමිතිය පවත්වා ගනිමින් ඉතා ප්‍රවේශමෙන් තත්ත්ව පරීක්ෂාව සිදු කරනවා. විශේෂයෙන් මෙම සියලු නිෂ්පාදන ඖෂධීය වටිනාකම් වලින් යුක්තයි. මගේ අත්දැකීම් තුළින් මා සොයාගත් දේවල් පරීක්ෂා කර නිසි ප්‍රමිතියකට අනුව මේ සියලු නිෂ්පාදන සකස් කරනවා.

අනාගතය
දැනට වෙළඳපොළේ සැකසූ ආහාර තිබුණත්, Senani Products (Pvt) Ltd හි නිෂ්පාදනවල ඇති විශේෂත්වය වන්නේ කිසිදු රසායනික ද්‍රව්‍යයක් හෝ ආහාර කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු නොවීමයි. මෙම කරුණ නිසි ලෙස සනාථ කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතන හරහා සියලුම තත්ත්ව පරීක්ෂණ සිදු කිරීමෙන් පසු සහතික ලබාගෙන තිබෙනවා.
Senani Products (Pvt) Ltd ජයග්‍රහණ


- 2013 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘GMP සහතිකය’ ක්‍රීම් ආයතනයක් ලෙස Senani Products (Pvt) Ltd වෙත හිමි විය.
- 2014 වසරේදී “National Vidatha Enterprises” හිදී ආහාර අංශය සඳහා ලෝකඩ පදක්කම.
- 2016 වසරේදී බස්නාහිර පළාත් වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ව්‍යවසාය සම්මාන උළෙලේදී කුඩා පරිමාණ අංශය වෙනුවෙන් පිරිනමන රිදී පදක්කම.
- 2016 වසරේදී කළුතර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ ව්‍යාපාර සංවර්ධන අංශයේ විශිෂ්ට ව්‍යවසායකයා සඳහා රන් පදක්කම.
- 2016 වසරේදී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද දිස්ත්‍රික් මට්ටමින් 2016 දී ව්‍යවසායක විශිෂ්ටතා SED රන් සම්මානය.
- 2017 වසරේදී ශ්‍රමාභිමානි ජාතික සම්මානය
- 2017 දී බස්නාහිර පළාත් ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සම්මාන උළලේදී මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය වෙනුවෙන් පිරිනමනු ලබන ‘රිදී සම්මානය’.
- 2017 වසරේ කාන්තා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සම්මාන උළෙලේදී මධ්‍යම කාණ්ඩයේ, වසරේ හොඳම කාන්තා ව්‍යවසායිකාව සඳහා ඒකාබද්ධ රන් සම්මානය.
- කාන්තා හා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සම්මාන උළෙලේ මධ්‍යම පරිමාණ රන් පදක්කම.
- 2018 වසරේ මධ්‍යම පරිමාණ විශිෂ්ට ව්‍යවසාය සම්මාන උළෙලේ රන් පදක්කම.
- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩය යටතේ සහභාගීත්වය සඳහා 2018 SLIM සන්නාම විශිෂ්ටතා සම්මානය. (සන්නාම ක්‍රියාකාරිත්වය සහ සන්නාම අනන්‍යතාවයේ විශිෂ්ටත්වයේ ජයග්‍රහණ, එහි වටිනාකම් යෝජනාව වැඩි දියුණු කිරීමේ උත්සාහයේදී නව්‍ය උපාය මාර්ග සහ හොඳම භාවිතයන් යෙදීම සඳහා ඇගයීමට ලක් කෙරේ).
- ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කරන ලද සම්මාන උළලේදී, 2019 මධ්‍යම කාණ්ඩයේ කර්මාන්ත සහ නිෂ්පාදන අංශය සඳහා බස්නාහිර පළාතේ හොඳම කාන්තා ව්‍යවසායිකාව සම්මානය.
- කාන්තා හා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘ප්‍රතිභාභිෂේකා 2024’ කාන්තා ව්‍යවසාය සම්මාන උළෙලේ දී ‘ධෛර්යමත් කාන්තා’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම.
සටහන – වරුණි ජයතුංග