අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකාවේ නව දූත මණ්ඩල ප්‍රධානීන් හමුවෙයි

Spread the love

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) 2025 මැයි 16 වනදා ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙය සංවිධානය වූයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුවයි. වැඩසටහනේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ වර්තමාන අපනයන උපායමාර්ග, කලාපීය ප්‍රමුඛතා සහ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු වර්ධනය සඳහා රාජතාන්ත්‍රික සහයෝගීතාව පිළිබඳව නව මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ  සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා එහි ආරම්භක දේශනය සිදුකරමින්, ආයතනයේ දීර්ඝ කාලීන දැක්ම, ජාතික අපනයන ඉලක්ක සහ  පවතින ආර්ථික අභියෝගයන් සහ අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කලේය. ශ්‍රී ලංකාවේ විදේශීය  දූත මණ්ඩල මූලස්ථාන මඟින් නව වෙළඳපළ සොයා ගැනීම, ආකර්ෂණීය ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම සහ ආයෝජකයන්ට ලංකාවේ අපනයන හැකියාවන් පිළිබඳව දැනුවත් කිරීම තුළින් අපනයන ඉලක්ක සපුරාලීම සඳහා ඉතා වැදගත් සහයෝගයක් ලබාදිය හැකි බවද ඔහු සදහන් කළේය.

“ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා: ඇමරිකාව, ඉන්දියාව, එක්සත් අරාබි එමිර් රාජධානිය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ජපානය, කිුබාව සහ එක්සත් රාජධානිය යන රටවල් පිළිබඳ අවධානය යොමු කරමින් විශේෂ ඉදිරිපත්කිරීමක් වෙළෙඳපල සංවර්ධන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ සෞම්‍යා කන්නන්ගර මහත්මිය සිදුකරන ලදි. එහිදී ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් සමඟ ශ්‍රී ලංකාවට ඇති ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා, අවස්ථා සහ අභියෝග, ක්‍රියාත්මකකිරීමේ  යෝජිත උපාය මාර්ග පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් සිදු කරන ලදී.

මෙම අවස්තාවට, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්(සංවර්ධන)අනොමා ප්‍රේමතිලක, අධ්‍යක්ෂවරුන් සහ නිලධාරින්ගෙන් සමන්විත අපනයන සංවර්ධන මණ්ඩලයේ කණ්ඩායම හා ශ්‍රී ලංකාවේ නව දූත මණ්ඩල ප්‍රධානීන් අතර විවෘත සංවාදයකට ද අවස්ථාව උදා විය. මෙහිදී නව දූත මණ්ඩල ප්‍රධානීන් වෙත අපේක්ෂිත සහයෝගීතා වශයෙන්, ව්‍යාපාරික සම්බන්ධතා (B2B), වෙළෙඳ ප්‍රදර්ශනවලට සහභාගී වීම, වෙළෙඳ බුද්ධි විශ්ලේෂණ එකතු කිරීම සහ නව ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම වැනි ක්ෂේත්‍රයන් පිළිබඳව සවිස්තරාත්මකව විවරණය කරන ලදී.

අමෙරිකානු නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස පත්වූ හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් මහේෂිනී කොලොන්නේ, පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් නිමල් සේනාධීර යන මහත්ම මහත්මීන් එම අවස්ථාවට එක්විය.

කියුබාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද රත්නායක මහතා, ජපානයේ ශ්‍රී ලංකා  තානාපති ලෙස පත්වු මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත්වු මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය ද අපනයන සංවර්ධන මණ්ඩලය සමග පැවති හමුවට එක්වූවාය 

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *