
කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් – ජනාධිපති ලේකම්
ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ SEMA ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රවනාගාරයේදී අද (28) පස්වරුවේ පැවැත්විණ.
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය සේවා ඩිජිටල්කරණය වේගවත් කරමින්, කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සමගාමීව කටයුතු කිරීම සඳහා මෙවැනි ඩිජිටල් පරිවර්තනයන් අත්‍යවශ්‍ය වන බවයි. කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය හඳුන්වාදීම තුළින් රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ වේගවත් වන අතර ආනයන හා අපනයන සමාගම්වලට විශාල පහසුවක් සැලසෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
විශේෂයෙන් ඩිජිටල් අත්සන තැබීමෙන් පසු සිදු කෙරෙන වෙනස්කම් මෙම පද්ධතිය මඟින් හඳුනා ගනු ලබන බැවින් කිසිදු ආකාරයක වංචා දූෂණයකට අවස්ථාව නොලැබෙන බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.
වෙළෙඳ පරිමාව සීඝ්‍රයෙන් වර්ධනය වන පසුබිමක ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත ක්‍රමවේදය හඳුන්වාදීම හේතුවෙන් කිසිවෙකුගේ රැකියා අහිමි නොවන බවත්, වෘත්තියේ ස්වභාවය වෙනස් වුවද රේගු නිශ්කාෂණ නියෝජිතයන්ගේ රැකියා ආරක්ෂා වන බවත් ජනාධිපති ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
LankaSign ඩිජිටල් අත්සන සහ ASYCUDA පද්ධතිය ඒකාබද්ධ කිරීම මඟින් නීත්‍යානුකූල හා ආරක්ෂිත ආකාරයෙන් සියලුම රේගු ලේඛන මර්ගගතව ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන අතර, එම ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍ය බවද ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේය. එම සහයෝගය හිමිවන්නේ නම් ඔක්තෝබර් 01 වැනිදා සිට මෙම නව ක්‍රමවේදය සාර්ථකව ආරම්භ කළ හැකි බවද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
මෙම වැඩසටහනේදී ASYCUDA පද්ධතිය සමඟ LankaSign ඩිජිටල් අත්සන ඒකාබද්ධ කරමින් කඩදාසි රහිතව රේගු ලේඛන ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය, එහි ප්‍රතිලාභ සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් ද සිදු කෙරිණි.
අනතුරුව පැවැති ප්‍රශ්න හා පිළිතුරු (Q&A) සැසියේදී, සහභාගි වූ නියෝජිතයන් විසින් ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර, ඒ සඳහා අදාළ නිලධාරීන් විසින් අවශ්‍ය පැහැදිලි කිරීම් සහ පිළිතුරු ලබා දෙනු ලැබිණි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගම මහතා, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ (RARMB) අධ්‍යක්ෂ ඩබ්ලිව්. එල්. සී. තිලකසිරි මහතා සහ LankaSign ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු නාලක විජේනායක මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.
මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී. එච්. එස්. පුල්ලෙපෙරුම මහත්මිය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයන්, බලයලත් ආර්ථික ක්‍රියාකරුවන් (AEO), LankaSign ආයතනයේ නිලධාරීන්, රේගු නිශ්කාෂණ නියෝජිතයන්, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ (RARMB) නිලධාරීන්, ජනාධිපති කාර්යාලයේ නියෝජිතයන් මෙන්ම මෙරට ආනයන හා අපනයන සමාගම් නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
