
ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පලාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් වයඹ සහ උතුරු මැද පළාත්වල වර්තමාන අපනයන තත්ත්වය‚ අපනයන විභවතාව හා ඉදිරි ක්‍රියාමාර්ග සහ උපාය මාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා වයඹ සහ උතුරු මැද පළාත්වල අපනයන සංවර්ධන නිලධාරීන්ගේ දායකත්වය වඩාත් විධිමත් සහ කාර්යක්ෂම ලෙස ලබා ගැනීම පිණිස ප්‍රාදේශීය සම්පත් අපනයන කර්මාන්තවලට යොදා ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා අපනයන සංවර්ධන නිලධාරින් අමතමින් ඉදිරි අපනයන ඉලක්ක සහ අභියෝග පිළිබද විස්තරාත්මක පැහැදිලි කිරිමක් සිදු කළා. ඉදිරි අපනයන ඉලක්ක සපුරා ගැනිම සදහා අපනයන සංවර්ධන නිලධාරින්ගේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම පිළිබදව මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කළා. වත්මන් අපනයන තත්ත්වය යටතේ 2030 වසරේදි ඩොලර් බිලියන 36ක අපනයන ආදායමක් ලබා ගැනීමටනම් සැලසුම් සහගතව කැපවිමෙන් වැඩ කිරිමේ අවශ්‍යතාවය පිළිබදව විජේසිංහ මහතා වැඩි දුරටත් සදහන් කළා.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් සදහන් කළේ අපනයන ඉලක්ක සාර්ථක කර ගැනීමට නම් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමෙන් සිදුවන යාන්ත්‍රණය කාර්යක්ෂමව කළ යුතු බවයි. ඒ සදහා අමාත්‍යංශය වශයෙන් ලබා දිය යුතු සහයෝගය පිළිබද අමාත්‍යතුමා දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ව්‍යවසායකයන්ට ණය පහසුකම්, ඉඩම් පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍යංශය මැදිහත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.ඉදිරි අපනයන ඉලක්ක සපුරාගැනීම සදහා අපනයන සංවර්ධන නිලධාරීන්ගේ අදහස් සහ ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබදවද අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය.
අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේ, මෙවැනි ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම අපනයන සංවර්ධන නිලධාරින්ගේ වැඩ කටයුතු අධීක්ෂණය කරමින් අවශ්‍ය උපරිම සහයෝගය ලබා දෙන බවත් අනෙකුත් පලාත්වලද ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බී.එම් විජේසිරි සහ ධර්මප්‍රිය දිසානායක යන මහත්වරු,කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ඩි.එම්.කේ.සි. දිසානායක මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (සංවර්ධන) එන්. ඒ.ඒ. එස්. ප්‍රියංකර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ඩබ්.එම්.සී. කුමුදුනි විජේකුරුප්පු මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ජී.පී.එස්.ජේ.ද.සොයිසා මහතා,කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණි ප්‍රාදේශීය ලේකම්වරුන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, ප්‍රාදේශීය සංවර්ධන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ඩී.එම්.පී. දිසානායක මහතා ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සහ වයඹ පලාත් කාර්යාලයේ නිලධාරීන්, වයඹ සහ උතුරු මැද පළාත්වල අපනයන සංවර්ධන නිලධාරින් සහ අපනයනකරුවන් සහභාගී විය.