අපනයනකරුවන්ගේ සංසදයට අපනයනකරුවන්ගෙන් ගැටලු 110ක්

Spread the love

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 25 වන අපනයනකරුවන්ගේ සංසදය පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී සාර්ථකව පැවැත්විය. මෙය අපනයනකරුවන්ට ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට සහ අපනයන ක්ෂේත්‍රයේ මුහුණදීමට සිදුවන අභියෝග සඳහා ප්‍රායෝගික විසඳුම් සෙවීමට වැදගත් වේදිකාවක් විය.

අපනයන ප්‍රජාවට සහාය වීමේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ උත්සාහයක කොටසක් ලෙස, මෙම අවස්ථාව අපනයනකරුවන්ට ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සෘජුව සම්බන්ධ වීමට, ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට සහ අපනයන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාවක් විය.

අපනයනකරුවන් විසින් තම ගැටළු 110 ක් මෙම සංසදය සදහා ඉදිරිපත් කළ අතර, එයින් සමාගම් විසින් ගැටළු 79 ක් සෘජුව ද ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය (EASL) සහ ලංකා වාණිජ මණ්ඩලය වැනි කර්මාන්ත සංගම් මඟින් ගැටළු 31 ක් ද ඉදිරිපත් විය. ඉන් ගැටළු සැලකියයුතු ප්‍රමාණයක් අපනයන කාර්යසාධක බලකාය හරහා අදාල ආයතන වලට යොමුකර විසදමින් පවතින අතර, ගැටළු 37 ක් (ප්‍රධාන මාතෘකා 17 කට වර්ගීකරණය කරමින්) සංසදයේදී සාකච්ඡා කිරීමට ප්‍රමුඛතාවය ලැබීය.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා සිය දේශනයේදී වෙළඳාමට පහසුකම් සැලසීම සහ අපනයනකරුවන් මුහුණ දෙන අභියෝගයන්ට විසඳුම් ලබා දීම සඳහා රජයේ කැපවීම නැවත අවධාරණය කළේය. වත්මන් රජය නිෂ්පාදන ආර්ථිකය තුළ අපනයන වර්ධනයට ප්‍රමුඛත්වය දෙන බවත් ඒ සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ උපරිම සහයෝගය ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරීත්වය ඉහළ නැංවීම සහ ගෝලීය වෙළෙඳපොළ තුළ තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාවයේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ප්‍රධාන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ,මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම මහතා, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග උදේෂ් වීරරත්න මහතා සහභාගි වූහ.

එමෙන්ම, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේඛම් තිලකා ජයසුන්දර මහත්මිය සහ අතිරේක ලේඛම් චමින්ද පතිරණ මහතා,අපනයන සංවර්ධන මණ්ඩලයේ  සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, අධ්‍යක්ෂ ජනරාල් සී.ඩී. ධර්මසේන මහත්මිය සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) අනෝමා ප්‍රේමතිලක මහත්මිය, අපනයන උපදේශක කමිටු නියෝජිතයින්, අපනයනකරුවන්ගේ සංගම්, වාණිජ මණ්ඩල නියෝජිතයින්, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, පුද්ගලික අංශයේ සමාගම්වල නියෝජිතයින් ඇතුළු රාජ්‍ය  ආයතනවල නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

25 වන අපනයනකරුවන්ගේ සංසදය ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධන උත්සාහයට නව ප්‍රවේශයක් ලබාදීම, ජාත්‍යන්තර වෙළඳයට පහසුකම් සැලසීම සඳහා රජයේ කැපවීම තහවුරු කිරීමේ වැදගත් අවස්ථාවක් විය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *