‘ඩොලර් ආදායම ඉහළ නංවාගත හැකි දැවැන්ත වැඩපිළිවෙළක් මේ වන විට රජය සැලසුම් කරමින් තිබෙනවා‘

Spread the love

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය හැමෝටම දායක විය හැකි රටේ ආකල්පමය වෙනසක් සිදු කරමින් ජනතාවගේ සංවර්ධනය, දියුණුව සහ මානව ප්‍රගමනය සඳහා දායක වන ව්‍යාපෘතියක්. මෙහිදී රටේ ඵලදායිතාව වර්ධනය කරගැනීම සඳහා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අයත් ජාතික ඵලදායිතා ලේකම් කර්යාලය මඟින් විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ජාතික ඵලදායිතා සම්මානය මඟින් රාජ්‍ය අංශය, අර්ධ රාජ්‍ය අංශය, රාජ්‍ය ව්‍යාපාර, පෞද්ගලික අංශය සහ පාසල් කියන සෑම අංශයක්ම ආවරණය වන ආකාරයට; සීමිත සම්පත්වලින් උපරිම ඵල නෙළාගන්නේ කොහොමද යන විද්‍යාත්මක පදනම යටතේ මේ වැඩපිළිවෙළ රට පුරා ක්‍රියාත්මක කරන්න අප බලාපොරොත්තු වනවා.

මෙහිදී අපේ නිවෙස, සමාජය හා පරිසරය ඵලදායි කරගන්නේ කොහොමද කියන දැනුම සමාජයට දීම සඳහා මේ ව්‍යාපෘතියට ඍජු දායකත්වයක් සැපයීමයි අපේ අපේක්ෂාව. උදාහරණයකට නිවෙස ගත්තොත්: විදුලිය කාර්යක්ෂමව භාවිත කරන්නේ කොහොමද, කැළිකසළ අවම කරගන්නේ කොහොමද, වියදම් කළමනාකරණය කරගන්නේ කොහොමද කියන දැනුම සමාජගත කිරීම මේ ව්‍යාපෘතියෙන් සිදු කෙරනවා.‍

එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක්.

අපේ රටේ පොල් ආශ්‍රිත කර්මාන්තවල නියැළී සිටින අපනයනකරුවන්, නිෂ්පාදකයන්, අගය එකතු කරන්නන් යන පාර්ශ්ව තුනම එකට එකතු වෙලා එක සංගමයක් විදියට තමන්ගේ කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන්ගේ අපනයන කර්මාන්තය පවත්වාගෙන යෑමට පොල් ගෙඩි මිලියන 200ක ධාරිතාවෙන් යුතු මද සහ කිරි ආනයනය කිරීමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ යෝජනාව පදනම් කරගෙන මා දැක්වූ අදහස් විකෘති කරමිනුයි මේ සාවද්‍ය ප්‍රවෘත්තිය පළ කර තිබුණේ.

පොල් ආශ්‍රිත කර්මාන්තය රටට ඉතා වැදගත් කර්මාන්තයක්. එහිදී දේශීය වශයෙන් පොල් පරිභෝජනය සහ නිෂ්පාදනයත්, අනෙක් අතට පොල් අපනයන කර්මාන්තයත් ආර්ථික වශයෙන් ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරනවා. ඒ නිසා මෙය රටේ ආර්ථික අභිවෘද්ධිය උදෙසා ඉතා වැදගත් කර්මාන්තයක් ලෙසයි අප විසින් හඳුනාගෙන තිබෙන්නේ.

දේශීය අපනයන කර්මාන්ත පැත්තෙන් බැලු විට ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන විදියට තේ, පොල්, රබර් කියන භෝග තුන ඩොලර් බිලියනයකට ආසන්න ආනයන ප්‍රමාණයක් අප රටට ගෙන එනවා. තේ ඩොලර් බිලියන 1.3ක්, රබර් ආශ්‍රිත නිෂ්පාදන ඩොලර් මිලියන 950ක් සහ පොල් ආශ්‍රිත අපනයන ඩොලර් මිලියන 850ක් මෙරටට උපයා දෙන තැනට මේ ව්‍යවසායකයන් දියුණු කරගෙන තිබෙනවා. එහෙත් ගැටලුව වන්නේ රටක් විදියට මේ කර්මාන්ත ආශ්‍රිත යෙදවුම් අමුද්‍රව්‍ය වන අපේ වැවිලි කර්මාන්තය පසුගිය කාලයක පටන් දිගින් දිගටම සිදු වූ පරිහානිය හා ඵලදායිතාව අඩු වීම නිසා අද මේ අපනයන කර්මාන්ත අර්බුදයට ගමන් කර තිබීමයි.

ශ්‍රී ලංකාවේ අගය එකතු කිරීම සියයට 75ටත් 80ටත් එහා තිබ්බ රබර් කර්මාන්තය අද සියයට 35ක අගය එකතු කරන කර්මාන්තයක් බවට පත් වෙලා. රබර් කර්මාන්තය මේ වන විට පවත්වාගෙන යන්නේ ආනයනික රබර් මතයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ – එනම්: වැවිලි කර්මාන්තයේ – ඵලදායිතාව නිසි පරිදි නඩත්තු නොකිරීම සහ ඒ සඳහා නව තාක්ෂණික දැනුම උපයෝගි කරගෙන නැති නිසා අප රටේ පොල් නිෂ්පාදනයත් මේ ආකාරයට අර්බුදකාරි තැනකට ගමන් කර තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව පසුගිය පාලන සමයන්හිදී ජාතික සැලැස්මක් නැතිව කටයුතු කිරීමයි. විශේෂයෙන්ම ඉඩම් කට්ටි කිරීම සහ පොල් වගාව අත්හැරීම, පොල් වගාවට අවශ්‍ය කරන පොහොර නොයෙදීම සහ පොල් කර්මාන්තය ආශ්‍රිත තාක්ෂණය නිසියාකාරයෙන් භාවිත නොකිරීම මේ සඳහා හේතු වී තිබෙනවා.

අප රටේ පොල් ගහක සාමාන්‍ය ඵලදාව ගෙඩි 50ක වගේ සීමාවකයි තිබෙන්නේ. එහෙත් මෙය විද්‍යානුකූලව, තාක්ෂණිකව සිදු කරන තැනක ගමන් කළා නම් පොල් ගෙඩි 80ත් 100ත් අතර ඵලදායිතාවක් ලබාගැනීමට හැකියාවක් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ අපි 2023 වසරේ පොල් ගෙඩි මිලියන 3,100ක වගේ ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා. ඒ අනුව 2024 වර්ෂය සඳහා මිලියන 3,300ට යන්න පුළුවන් කියලා පුරෝකථනයක් කර තිබුණා. එහෙත් අපට 2024ට ලැබුණේ පොල්ගෙඩි මිලියන 2,600ක් වගේ ප්‍රමාණයක්. මේ තත්ත්වය නිර්මාණය වී තිබෙන්නේ ඒ නිසයි.

කවුරු මොන දේ කිවුවත් මේ අර්බුදය මේ මාස දෙක තුනට ඇති වූ දෙයක් නොවන බව මේ රටේ ජනතාව තේරුම් ගෙන තිබෙනවා.

මේ පොල් සැපයුමට ඉල්ලුම්කරුවන් තුන්දෙනෙක් ඉන්නවා. ගෘහ පරිභෝජනයට මේ මිලියන 2,600න් මිලියන 1,800ක්ම වෙන් කෙරෙනවා. ඉතිරියෙන් වැඩි ප්‍රමාණයක් අපනයනය කිරීමටත්, සුළු ප්‍රමාණයක් පොල්තෙල් නිෂ්පාදනයටත් යොමු කර තිබෙනවා. එහෙත් මේ අපනයන ප්‍රමාණය පොල් අපනයන කර්මාන්තය පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් නෑ. එනිසා ඔවුන් තම කර්මාන්තය පවත්වාගෙන යෑමට අවශ්‍ය පොල් වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට යොමු වනවා. වෙළෙඳපොළේ පොල් හිඟ වී මිල ඉහළ යන්නේ මේ හේතුව නිසයි.

පළමුවෙන්ම: පොල් කියන්නේ ඩොලර් උල්පතක් කියන කාරණය අප තේරුම් ගන්න ඕනෑ. පොල් වතුර, මදය, කට්ට සහ පොල් කෙඳි ඇතුළු මේ සමස්තයම අද ඩොලර් බවට පත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම පොල් මද ආශ්‍රිත අපනයන ලෝක වෙළෙඳපොළේ ඩොලර් බිලියන 27ත් 30ත් අතර ප්‍රමාණයක් තිබෙනවා. අපේ රටේ අපනයනකරුවන්ගේ ඉලක්කය වී ති‍ෙබන්නේ ඩොලර් බිලියන 1.5ක පමණ කොටසක් මේ වෙළෙඳපොළෙන් අල්ලාගන්න. එහෙත් ඔවුන්ට තිබෙන අර්බුදය තමයි දේශීය වෙළෙඳපොළෙන් ඔවුන්ට අවශ්‍ය සැපයුම නොවීම.

පොල් මිල ඉහළ යෑමත්, පොල් ආශ්‍රිත කර්මාන්ත රැකගැනීමත් යන දෙකම සලකා බලන විට, පෙර සඳහන් කළ ඉල්ලීම පරිදි ඉදිරි මාස තුන සඳහා පොල් ගෙඩි මිලියන 200ක ධාරිතාවෙන් යුතු පොල් මද සහ කිරි ආනයනය කිරීමට අවසර දීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. ඉන් පොල් මිලේ වෙනසක් වගේම අපනයනකරුවන්ගේ ගැටලුවටත් විසඳුමක් ලැබේවි කියන විශ්වාසය අපට තිබෙනවා. මේ පොල් ආනයනය කරන්නේ අපනයනකරුවන්ට අවශ්‍ය කරන පොල් මද සහ කිරි අපනයනය සඳහා පමණයි. ඒවා අගයන් එක් කර නැවත ප්‍රතිඅපනයනය කරනවා. එමඟින් ඩොලර් බිලියනයක ආදායමක් උපයාගත හැකි බව අප විශ්වාස කරනවා. එහෙත් අපේ දිගු කාලීන සැලසුම වන්නේ නැවත පොල් වගාව ප්‍රචලිත කරමින් ඒ සඳහා අවශ්‍ය පොහොර, තාක්ෂණය හා නිසි මඟපෙන්වීම සලසමින් පොල් අස්වැන්න වැඩි කරගැනීමයි. එමඟින් අපට ලෝක වෙළෙඳපොළේ විශාල පංගුවක් හිමි කරගැනීමයි. ඒ අනුව ඩොලර් ආදායම ඉහළ නංවාගත හැකි දැවැන්ත වැඩපිළිවෙළක් මේ වන විට රජය සැලසුම් කරමින් තිබෙනවා.

පොල් කියන්නේ මා මින් පෙර සඳහන් කළ ආකාරයට අපට විදේශ විනිමය ලබාගත හැකි මහඟු ඵලයක්. අපේ රටේ ග්‍රාමීය ජනතාව එදිනෙදා පරිභෝජනයේදී මෙහි වටිනාකම නොදැනීම නිසා යම් නාස්තියක් සිදු වනවා. විශේෂයෙන් අතින් පොල් මිරිකීමෙන් එහි උපරිමය අපට ගන්න බැරි වනවා. එහෙත් බ්ලෙන්ඩර් කළොත් අපට එහි උපරිමය ගන්න පුළුවන්. මේ ආකාරයට වඩා ඵලදාව හා සකසුරුවම්ව පාවිච්චි කරන්න කියන ඉල්ලීමයි මම කළේ; එහෙම නැතිව පොල් සම්බෝල කන්න එපා කියලවත්, පොල් කිරි ආශ්‍රිත ආහාර සකස් කරන් එපා කියලවත් නෙමෙයි; අරපිරිමැස්මෙන් පාවිච්චි කර, අපි පොල් ගෙඩියක් හරි ඉතිරි කළොත් ඒ පොල් වතුරයි, මදයයි, කට්ටයි, ලෙල්ලයි ඩොලර් වෙලා ආපහු මේ රටට එනවා කියන කාරණයයි. පොල් සම්බෝල කෑවට කමක් නැහැ. ඒත් පොල් කට්ටෙන් ඩොලර් උපයන්න පුළුවන් බව අමතක කරන්න එපා.

මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නෙමෙයි. මෙතෙක් කලක් ගෙනගිය දේශපාලන ක්‍රමය සහ මේ අසංවිධිත වෙළෙඳපොළ ක්‍රමය නිසා ගොවියා මෙන්ම පාරිභෝගිකයාත් අසාධාරණයට ලක් වී තිබුණා. ගොවියන්ට වී සඳහා අවම මිලකුත්, සහල් සඳහා පාරිභෝගිකයන්ට උපරිම මිලකුත් ක්‍රියාත්මක වුණා. සහල් නිෂ්පාදනයට අවශ්‍ය කරන බහුතරයක් යෙදවුම් සපයන්නේ මහජනතාව. වතුර, පොහොර, සහනාධාර… මේ හැම දෙයක්ම දෙන්නේ ජනතාව. ඒ නිසා අපේ රටේ හැදෙන වී කාටවත් අයිති වී නෙමෙයි. අදාළ ආයතන මේ සම්බන්ධයෙන් වූ දත්ත නිසියාකාරව කළමනාකරණය නොකළ නිසා පහුගිය මාස කිහිපයේ අපේ රටේ සහල් අර්බුදයක් ඇති වුණේ. ඒ පිළිබඳ රජය අවබෝධයෙන් ඉන්නේ. ඉදිරියෙදී මේ ගැටලුවට විසඳන්න සහ හාල්වලින් අධික ලාභ ලැබීම වැළැක්වීමට ඉතා විද්‍යාත්මක වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අයට දේශපාලන සංස්කෘතියක් සහ දැනුම සහිත ක්‍රියාත්මක වැඩපිළිවෙළක් නැති නිසා තමයි ජාතික ජන බලවේගය තේරී පත් වුණේ. ඒකට තවම විකල්පයක් හැදිලා නැති නිසා විපක්ෂයක් ඇති බව මං විශ්වාස කරන්නේ නැහැ. අද ඇත්තටම විපක්ෂයක් කියල එකක් නැහැ.

රසික කොටුදුරගේ විසින් ජනවාරී 25 වැනිදා සිළුමිණ පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවකි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *