ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර සවිබල ගැන්වීම සහ වර්ධනය සඳහා NDB බැංකුව අපනයනකරුවන් සඳහා විශේෂ සැසියක්

Spread the love

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත් කිරීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීම තහවුරු කරමින් 2025 අපේ‍්‍රල් මස තවත් සාර්ථක අපනයනකරුවන් සඳහා විශේෂ සැසියක් පවත්වන ලදී. මෙම වැඩසටහන අපනයනකරුවන් සහ ප‍්‍රධාන කොටස්කරුවන් රැසක් එක්රැස් වන කුරුණෑගල නගරයේ පැවැත්විණි.  අපනයන සංවර්ධනය සහ වර්ධනය වේගවත් කිරීමේදී NDB බැංකුවේ ව්‍යාපාරික බැංකු සේවාවන්හි උපායමාර්ගික කාර්යභාරය කේන්ද‍්‍ර කරගත් අර්ථවත් සාකච්ඡා සඳහා පැමිණි සිටි පිරිස දායක වීය.

දේශීය ව්‍යවසායකයින්ගේ සහ තම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ වෙත රැගෙන යාමේ අභිලාෂය සහිත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඇති අවස්ථාවන් විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු කළ ඉතා  වැදගත් දැනුම බෙදා ගැනීමේ වේදිකාවක් ලෙස මෙම සැසිය පැවැත්විණි. දිනෙන් දින වෙනස් වෙමින් පවතින ගෝලීය වෙළඳපොළ තුළ ශ‍්‍රී ලාංකික අපනයනකරුවන්ට සාර්ථකත්වයට පත්වීමට උපකාර කිරීම වෙනුවෙන්ම සකස් කළ මූල්‍ය විසඳුම්, උපදේශන සේවා පිළිබඳවත්, ව්‍යාපාරික ධාරිතාවයන් ඉහළ නැංවීමට ලබාදෙන සහය පිළිබඳවත් NDB බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය විසින් පැමිණි සිටි පිරිස දැනුවත් කරන ලදී.

NDB බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මධ්‍ය වෙළෙඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණ අංශයේ උප සභාපති ඉන්දික රණවීර මහතා විසින් පිළිගැනීමේ කතාව සහ වැඩසටහන පිළිබඳ කෙටි හැඳින්වීමකින් උත්සවය ආරම්භ කළ අතර, ඔහු ශ‍්‍රී ලංකාවේ අපනයන වෙළඳාමේ වර්ධනයට පහසුකම් සැලසීම සඳහා NDB බැංකුවේ දිගුකාලීන සැලසුම් පිළිබඳවද අදහස් දක්වන ලදී. මෙම සැසියේ මූලික පරමාර්ථය ඉස්මතු කරමින්, ජාත්‍යන්තර මට්ටමේ තරඟකාරී අපනයනකරුවන් බවට පරිවර්ථනය වීමේදී ව්‍යාපාරික බැංකුකරණ ගනුදෙනුකරුවන්ට සහය වීම උදෙසා NDB බැංකුවේ ඇති උපායමාර්ගික සැලසුම් පිළිබඳවද මෙහිදී අවධාරනය කරන ලදී.

මෙම අවස්ථාවට ආරාධිත කථිකයා ලෙස සහභාගී වූයේ අධ්‍යක්ෂ, කාර්මික නිෂ්පාදන – මනෝජා දිසානායක මහත්මිය වන අතර, ඇය ශ‍්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත‍්‍රයේ අවස්ථාවන් සහ දේශීය ව්‍යවසායකයන්ට ගෝලීය ඉල්ලූමේ ඇති නව ප‍්‍රවණතාවලට ඔවුන්ගේ නිෂ්පාදන සූදානම් කළහැකි ආකාරය පිළිබඳ වටිනා දේශනයක් ඉදිරිපත් කරන ලදී. ඇයගේ දේශනය තුළින් රටේ කාර්මික අපනයන ධාරිතාව ඉහළ නැංවීම සඳහා ව්‍යාපාරයන්හි ඔරොත්තු දීමේ හැකියාව, නිෂ්පාදන නවෝත්පාදනය සහ බැංකු සහ වෙනත් ආයතන වල දායකත්වයේ වැදගත්කම ද ඉස්මතු කළාය.

ඉන්පසුව, ජාත්‍යන්තර වෙළඳ මූල්‍ය, ප‍්‍රාග්ධන කළමනාකරණය, ව්‍යාපාරික ගනුදෙනු බැංකුකරණය සහ අපනයන පහසුකම් සැපයීම සම්බන්ධ අතිශය වැදගත් මාතෘකා පිළිබඳව ගැඹුරින් විශ්ලේශණය කරන ලද සාකච්ඡා වටයක් ද පැවැත්විණි. මෙම සාකච්ඡා NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් පැවති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මධ්‍ය වෙළෙඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණය පිළිබඳ උප සභාපති ඉන්දික රණවීර මහතා, උප සභාපති – භාණ්ඩාගාර දමිත සමරනායක මහතා සහ ව්‍යාපාර ගනුදෙනු බැංකුකරණය සහ වෙළඳ මෙහෙයුම් පිළිබඳ සහකාර උප සභාපති තිලංක එස්. වීරසිංහ මහතාද සහභාගී විය. මීට අමතරව අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ප‍්‍රාදේශීය සංවර්ධන වැඩබලන අධ්‍යක්ෂ ඞී.එම්.පී. දිසානායක මහතා සම්බන්ධ වූ අතර ඔහු විසින් මේ හා සම්බන්ධ ජාතික ප‍්‍රතිපත්තිය පිළිබඳව සිය අදහස් එකතු කරන ලදී. මෙම සාකච්ඡා සැසිය මෙහෙයවනු ලැබුවේ NDB බැංකුවේ කලාපීය ව්‍යාපාර බැංකුකරණ ප‍්‍රධානී  / ප‍්‍රධාන කළමනාකරු නිලේන්ද‍්‍ර විතානගේ මහතා විසිනි.

වෙළඳපොලට ප‍්‍රවේශ වීමේ සිට ජාත්‍යන්තර ගනුදෙනු සහ විනිමය අවදානම් කළමනාකරණය කරමින්,  NDB බැංකුව විසින් ලබාදෙන ව්‍යාපාරික බැංකුකරණ විසඳුම් වල සහය ඇතිව ගෝලීය වශයෙන් ව්‍යාපාරය වර්දනය කිරීම දක්වා ක‍්‍රියාවලිය පිළිබඳව පැමිණි සිටි පිරිසට ප‍්‍රායෝගික අවබෝධයක් ලබා දෙන ලදී.

ශක්තිමත් මූල්‍ය විසඳුම් වලින් පමණක් නොව, දැනුම, මඟ පෙන්වීම සහ උපායමාර්ගික හවුල්කාරිත්වයේ වැදගත්කම විදහා පාමින් මෙම වැඩසටහන හරහා, NDB බැංකුව ශ‍්‍රී ලාංකික අපනයනකරුවන් සවිබල ගැන්වීම සඳහා වූ සිය කැපවීම නැවත වරක් තහවුරු කළේය. රට අපනයන මූලික කරගත් වර්ධන මාවතේ ඉදිරියට ගමන් කරන මේ මොහොතේ, NDB බැංකුව සිය ගනුදෙනුකරුවන්ට නව අවස්ථා හිමිකර දෙමින්, ඔරොත්තු දීමේ හැකියාව සහ දිගුකාලීන සාර්ථකත්වය ලඟාකර ගැනීම සඳහා නිබඳවම සහය වෙයි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *