ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට මුහුණ දිය යුතු ආකාරය ගැන IMF ශ්‍රී ලංකාවට උපදෙස්

Spread the love

මෑතකාලීනව එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද තීරුබදු වෙනස්කම්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුරෝකථනයන්ට අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය කර ඇති පසුබිමක පවා, ශ්‍රී ලංකාව තම අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සහ ස්ථාවරත්වය සහ වර්ධනය පවත්වා ගැනීම සඳහා ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි.

මේ වන විට එක්සත් ජනපදයේ වොෂිංටන් හි පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2025 වසන්ත රැස්වීම් (2025 Spring Meetings) හි ඊයේ (24) පැවති Regional Economic Outlook – Asia and Pacific සැසියේ දී ඔහු මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා,

“ඉතා මෑතක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළා. නව තීරුබදු ප්‍රකාශයට පත්වෙද්දී පවා ඔවුන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටියේ. එම වාතාවරණය තුළ ලැබී තිබුණු කාලය තීරුබදු බලපෑම සහ ආර්ථිකයේ වර්ධනයට බලපාන ආකාරය පිළිබඳ සාර්ව ආර්ථික රාමුවක් සකස් කිරීමට තරම් ප්‍රමාණවත් වුණේ නැහැ. අපගේ කණ්ඩායම නැවත පැමිණි පසුවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා දිගටම කරගෙන ගියා.”

“පුළුල් වශයෙන් බැලුවහොත් ශ්‍රී ලංකාව විශාල වශයෙන් තීරුබදු බලපෑමට ලක්වූ රටක් බව කිව හැකියි. ඇඟලුම් කර්මාන්ත අංශයට ඉන් ඇතිවිය හැකි බලපෑම විශාලයි. තවත් අංශවලට එය බලපානවා. තීරුබදු බලපෑම විශාල වශයෙන් එල්ල විය හැකි රටවල් අතරට ශ්‍රී ලංකාව හොඳ උදාහරණයක්. ශ්‍රී ලංකාව පමණක් නොව, මෙම බලපෑමට හසුවිය හැකි අනෙකුත් රටවල් මේ අවස්ථාවේ දී ඔවුන්ගේ අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය, කලාපය තුළ මනා සමෝධානයක් පවත්වා ගැනීම ආදිය හරහා ඇතිවිය හැකි බලපෑම අවම කිරීමට උපකාරී විය හැකියි.”

“එතැනින් ඒහාට ගියොත්, ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නංවා ගැනීම සඳහා පරිසරයක් නිර්මාණය කළ යුතුවෙනවා. එය බදු නිදහස් කිරීම් හරහා කරන දිරිගැන්වීම්වලින් නොවිය යුතුයි. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ මූල්‍ය ඒකාබද්ධතාවය හා මූල්‍ය විනය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු වෙනවා. එම තත්ත්වයන් නොවෙනස්ව පවත්වා ගනිමින් පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කර දීමෙන් ආයෝජන ප්‍රවර්ධනයට කටයුතු කළ යුතුයි.”

මූලාශ්‍රය – biz.adaderana.lk

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *