ඛනිජ අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය පුළුල් කිරීමට EDB අවධානය

Spread the love

අගය එකතු කිරීම ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම සහ ප්‍රමුඛ පෙළේ කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම මගින් මෙරට පවතින අතිවිශාල මිනිරන් විභවය උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) කටයුතු කරමින් සිටියි. මෙහි කොටසක් ලෙස, ලෝකයේ ප්‍රමුඛතම ස්වභාවික මිනිරන් (vein graphite) නිෂ්පාදකයෙකු වන බෝගල මිනිරන් ලංකා පී එල් සී (Bogala Graphite Lanka PLC) හි මිනිරන් කැණීම් සහ සැකසුම් මෙහෙයුම් නිරීක්ෂණය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් පසුගියදා ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

මෙම සංචාරය මගින් භූගත කැණීම් නිස්සාරණය කිරීමේ සිට සැකසීම, ශ්‍රේණිගත කිරීම, පිරිපහදු කිරීම සහ අපනයන සූදානම දක්වා වූ සමස්ත මිනිරන් අගය දාමය පිළිබඳව සෘජු අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණි. මෙම නිරීක්ෂණ මගින් ශ්‍රී ලංකාවේ ඛනිජ අපනයන කාර්ය සාධනය ඉහළ නැංවීමට සහ ඉහළ වටිනාකමකින් යුත් මිනිරන් නිෂ්පාදන සඳහා ලෝකයේ සැපයුම්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම සඳහා වන උපාය මාර්ග සැකසීමට අපනයන සංවර්ධන මණ්ඩලයට සහාය ලැබෙනු ඇත. මෙම වැඩපිළිවෙල ඛනිජ සහ ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන මෙරට ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන ඇති ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සමඟ සමපාත වේ. ශ්‍රී ලංකාවේ සුවිශේෂී ඛනිජ සම්පත්, විශේෂයෙන්ම ලෝක ප්‍රසිද්ධ මිනිරන්(vein graphite), අපනයන විවිධාංගීකරණය කිරීමට, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ අගය එකතු කිරීම හරහා ඉහළ විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමට සැලකිය යුතු අවස්ථාවන් සපයන බව ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මගින් හදුනාගෙන ඇත.

ස්වභාවික මිනිරන් (natural crystalline vein graphite) වාණිජමය වශයෙන් නිෂ්පාදනය කරන ලොව එකම රට ශ්‍රී ලංකාව වන අතර, එය අතිශය ඉහළ කාබන් සංශුද්ධතාවය සඳහා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් උසුලයි. මෙම සුවිශේෂී ලක්ෂණ නිසා ශ්‍රී ලංකාවේ මිනිරන් සඳහා උසස් කාර්මික යෙදුම්, ලිහිසි තෙල්, කාබන් බුරුසු, බ්‍රේක් පෑඩ්, වර්තන ද්‍රව්‍ය (refractories) සහ නැගී එන ග්‍රැෆීන් තාක්ෂණයන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. වසර 160කට වැඩි පතල් කැණීමේ ප්‍රවීණතාවයක් ඇති බෝගල මිනිරන් ලංකා පීඑල්සී ආයතනය, ගෝලීය වෙළඳපල වෙත මිනිරන් සැපයීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇත. එම සමාගම නවීන සැකසුම් තාක්ෂණයන් සහ තිරසාර පතල් කැණීමේ ක්‍රමවේද සඳහා අඛණ්ඩව ආයෝජනය කරනු ලබන අතර, එමගින් මූලික අමුද්‍රව්‍යයක් ලෙස ඛනිජ අපනයනයෙන් ඔබ්බට ගොස් ඉහළ වටිනාකමකින් යුත් තාක්ෂණික ඛනිජ නිෂ්පාදන වෙත යොමු වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පෙන්නුම් කරයි.

මෙම සංචාරය අතරතුර, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඉදිරි වැඩපිළිවෙල සහ මිනිරන් කර්මාන්තයේ පවතින බාධාවන් පිළිබඳව සමාගම් කළමනාකාරිත්වය සමඟ සාකච්ඡාවක් ද පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තයේ පූර්ණ විභවය සාක්ෂාත් කර ගැනීම සඳහා රජයේ ආයතන, පතල් සමාගම්, පර්යේෂණ ආයතන සහ ජාත්‍යන්තර තාක්ෂණික හවුල්කරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වන බව අපනයන සංවර්ධන මන්ඩලය විශ්වාස කරයි. පර්යේෂණ හා සංවර්ධන කටයුතු, නවීන සැකසුම් තාක්ෂණයන් සහ ජාත්‍යන්තර අලෙවිකරණය සඳහා කෙරෙන ආයෝජන මගින් ගෝලීය වෙළඳපල තුළ ශ්‍රී ලංකාවේ මිනිරන් සඳහා පවතින තරඟකාරිත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රටේ පවතින සුවිශේෂී ස්වභාවික මිනිරන් තැන්පතු ප්‍රයෝජනයට ගනිමින් සහ අගය එකතු කිරීම් තවදුරටත් දිරිමත් කිරීම මගින් ඛනිජ අංශයෙන් ලැබෙන අපනයන ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාවේ පුළුල් ජාතික අපනයන විවිධාංගීකරණ උපායමාර්ගයට සහාය වීමට අපනයන සංවර්ධන මණ්ඩලය අරමුණු කරයි. මෙම මුලපිරීම තිරසාර ආර්ථික වර්ධනයට දායක වීමටත්, ඉහළ නිපුණතා සහිත රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත්, උසස් ඛනිජ නිෂ්පාදන සඳහා ලෝක මට්ටමේ ප්‍රභවයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිය තහවුරු කිරීමටත් උපකාරී වනු ඇත. ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය ජාතික අපනයන ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රධාන දායකත්වයක් සපයන බව සහතික කරමින්, මෙරට ඛනිජ සම්පත් ඉහළ වටිනාකමකින් යුත් අපනයන නිෂ්පාදන බවට පත් කිරීමට කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය අඛණ්ඩව කැපවී සිටී.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *