
කාන්තාව ගෙදර ආර්ථිකය පාලනය කරනවා යන්න බොරුවක් නොවේ. බොහෝ සාර්ථක පවුල්වල දියුණුවේ රහස ද එයයි. පවුලේ ආදායම නිසි ලෙස හසුරුවා ගැනීමෙන් ආර්ථික දුෂ්කරතා අඩු කර ගත හැකි බව කාන්තාවන් දනී. සාමාන්‍යයෙන් කාන්තාවන් මුදල් පරිහරණය කරන්නේ ද පරිස්සමෙනි. අනාදිමත් කාලයක සිට ගෘහණිය සතු මේ සුවිශේෂී හැකියාව තව තවත් වැඩි දියුණු කර ගනිමින් අද කාලයට ඔබින පරිදි මුදල් පරිහරණය කිරීමට කාන්තාවන් දැන සිටිය යුතු කරුණු කිහිපයක් පෙන්වා දීම මෙම ලිපියේ අරමුණ වේ.
මුදල් භාවිතය
ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 95% කටත් වඩා ජන කොටසකට අකුරු ලිවීමටත්, කියවීමටත් පුළුවනි. එහි තේරුම අපේ රට සාක්ෂරතාවයෙන් ඉහළ රටක් බව ය. එමෙන්ම බෙහෝ අයට ඉංග්‍රීසි පිළිබඳ ව, පරිගණක භාවිතය පිළිබඳව සහ වෙනත් විෂයයන් පිළිබඳ ව ද ප්‍රමාණවත් සාක්ෂරතාවයක් පවතී. එසේ වුව ද, බොහෝ දෙනෙකුට ඉතා පරීක්ෂාකාරී ලෙස ප්‍රවේශමෙන්, දූරදර්ශී ව මුදල් පරිහරණය කරන ආකාරය ගැන අධ්‍යයනය කිරීමට, නැතිනම් ඉගෙනීමට අවස්ථාව ලැබී ඇත්තේ ඉතා අඩුවෙනි. මේ හේතුව නිසා තමන් අතිශය දුෂ්කරතා මැද උපයා ගන්නා මුදල් අරපරිස්සමකින් තොර ව වියදම් කොට ධනය නාස්ති කර ගන්නා ආකාරය පිළිබඳ ව කතා නිතර අපට අසන්නට තිබේ.
නොයෙක් ආකාරයේ මූල්‍ය ව්‍යාපාරවලට රැවටීමෙන් තමන් දැඩි වෙහෙස මහන්සියෙන් උපයා ගත් මුදල් නැති කර ගත් අයබොහෝ ය. විශේෂයෙන්ම තමන් උපයා ගත් මුදල් ඉහළ පොලියක් ලැබෙනවා යැයි සිතා නීති විරෝධී ආයතනවල තැන්පත් කිරීමෙන් දුෂ්කරතාවට පත් වී සිටිනවා සේ ම ඉතා අධික පොලියට ණය ගැනීම නිසා උන් හිටි තැන් අහිමි වූ මිනිසුන් ද අපට හමු වී තිබේ. එමෙන් ම මෙවැනි විස්තර දිනපතා ම මාධ්‍ය තුළින් අසන්නට ද ලැබේ. එමෙන් ම මුදල් උපයා ගැනීමට හැකියාව තිබූ කාලය තුළ කිසිවක් සිදු නොකොට අලස ලෙස කාලය ගත කර ජීවිතයේ අවසාන කාලයේ දැඩි අසීරුතාවයන්ට පත් ව දුක් විඳින අය ද, මුදල් උපයන කාල සීමාව තුළ කිසිදු මුදලක් ඉතිරි නොකළ නිසා, නැතිනම් අනාගත සැලසුමක් නොමැති ව මුදල් වියදම් කිරීම නිසා ජීවිතයේ වයස්ගත අවධියේ දී අසරණ වී දුක් විඳින අය පිළිබඳ ව ද අපට නිතර අසන්නට ලැබේ. ඒ නිසා මුදල් පරිහරණය කිරීම නැතිනම් මුදල් භාවිත කිරීම දැනගෙන කළ යුතු කාර්යයකි.

මූල්‍ය සාක්ෂරතාව
- මුදල් පරිස්සමෙන් පරිහරණය කිරීමට නම් ඒ පිළිබඳ දැනුමක්, අවබෝධයක් හා හැකියාවක් ද තිබිය යුතුය. එලෙස මුදල් පරිහරණය පිළිබඳ දැනුමක් ලබා ගැනීම තුළින් ඕනෑ ම අයෙකුට
- නීත්‍යානුකූල ක්‍රමවලින් මුදල් ඉපයීමටත්,
- ඉපයූ මුදල් යම් කොටසක් අනිවාර්යයෙන් ඉතිරි කිරීමටත්,
- එම ඉතිරි කළ මුදල් නීත්‍යානුකූලව පිහිටුවා ඇති බැංකු වැනි මූල්‍ය ආයතනවල තැන්පත් කිරීමටත්,
- සාධාරණ හා දැරිය හැකි පොලියක් යටතේ අවශ්‍ය ණය මුදල් ලබා ගැනීමටත්,
- ණය මුදල් සහ තමන්ගේ ඉතිරි මුදල් වැඩි ආදායම් ලබන කටයුතුවල ආයෝජනය කිරීමටත් හැකියාව ලැබේ.
- එසේ ම කපටි ව්‍යාපාරවල මුදල් මගඩිවලට හසු නොවී පවුලේ ආර්ථිකයත් රැකගෙන සමාජයේ ගෞරවයෙන් යුතුව ජීවත් වීමට ඔවුන්ට ද හැකියාව ලැබේ.
එබැවින් තමන් උපයා ගත් මුදල් ප්‍රවේශමෙන් පරිහරණය කර පවුලේ ජීවන තත්ත්වය උසස් කර ගැනීම සඳහා තිබිය යුතු මූල්‍ය සාක්ෂරතාව හෙවත් ප්‍රවේශමෙන් මුදල් පරිහරණය කිරීමේ දැනුම ලබා දීම බෙහෙවින්ම ඵලදායී වනු ඇත. ඒ අනුව මෙම ලිපිය තුළින් ඔබට මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ සරල අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

කාන්තාව සතු වගකීම
විධිමත් ආකාරයට මුදල් පරිහරණය කිරීමට අදාළ කරුණු අප සියලු දෙනා විසින් ම මැනවින් අවබෝධ කරගත යුතු ය. විශේෂයෙන් ම ගෙදර ආර්ථිකය සුරැකීම සඳහා පවුලේ අසීමිත වගකීම් දරන කාන්තාව වෙත මෙම දැනුම ලබා දීම අතිශයින් ම ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් ම “අම්මා” යන භූමිකාව තුළ යුතුකම් ඉටු කිරීමේ දී කාන්තාව ආර්ථික, සමාජයීය, සංස්කෘතික මෙන් ම පාරිසරික වශයෙන් ද ගෞරවාන්විත ව තම පවුල සුරැකීමට වෙර දරන අයෙකි. එබැවින් කාන්තාවන් මුදල් පරිහරණයේ දී වඩාත්ම ප්‍රවේශම් විය යුතු ය. එබැවින් කාන්තා ඔබද මුදල් පරිහරණය කිරීමේ දී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම බෙහෙවින්ම ඵලදායක වනු ඇත.
ප්‍රවේශමෙන් මුදල් පරිහරණයේ දී සැලකිල්ලට ගත යුතු කරුණු;
- මුදල් ඉපයීම හා කළමනාකරණය
- මුදල් ඉතිරි කිරීම
- මුදල් වියදම් කිරීම
- ආයෝජනය
- ණය ලබා ගැනීම හා ණය මුදල් කළමනාකරණය කර ගැනීම
- මුදල් මගඩිවලට හසු නොවී ආරක්ෂා වීම
(අ) මුදල් ඉපයීම හා කළමනාකරණය
මුදල් උපයා ගැනීම පිළිබඳ සලකන විට නීතියෙන් පිළිගත් රැකියාවකින් හෝ ව්‍යාපාරයකින් ම මුදල් උපයා ගත යුතු බව පළමු කාරණයයි. නීති විරෝධී හෝ කිසිදු වංචනික ක්‍රියාවලියකින් මුදල් ඉපයීම නොකළ යුතු ය. සෑම විට ම මුදල් ඉපයීම අමාරු කාර්යයක් බව සිතට ගත යුතු ය. පහසුවෙන් මුදල් උපයා ගැනීමේ ක්‍රම නැත. පහසුවෙන් මුදල් උපයා ගත හැකි බව පවසා නොයෙක් මැජික් ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන අයගෙන් ප්‍රවේශම් විය යුතු ය. අමාරුවෙන් උපයා ගත් මුදල් වියදම් කරන්නේ කෙසේ ද යන්න සැලසුම් කළ යුතුය. ඉවක් බවක් නැතුව මුදල් වියදම් කිරීමට ඕනෑ තරම් අවස්ථා තිබුණත් අපි ප්‍රවේශමෙන් වියදම් කළ යුතු ය. ඒ කියන්නේ සැලසුමකට අනුව පාලනයකින් යුතුව මුදල් පරිහරණය කළ යුතු ය. එනම් මුදල් කළමනාකරණය කළ යුතු ය.
සැලසුමකට අනුව මුදල් පාලනය කරනවා යනු මුදල් කළමනාකරණයයි. එහි දී ඉතිරි කිරීම, වියදම් කිරීම, ආයෝජනය කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.
(ආ) මුදල් ඉතිරි කිරීම
උපයා ගත් මුදලින් කොටසක් නිතිපතා ඉතිරි කිරීමට පුරුදු වුනොත් කාලයක් ගත වන විට ඔබටත් නොදැනීම ලොකු මුදලක් එක්රැස් වේ. එබැවින් ඔබගේ ආදායමට ගැලපෙන පරිදි ඉතිරි කළ හැකි ප්‍රමාණය තීරණය කරන්න.
ආදායම ලද විගස මුලින් ම ඒ කොටස ඉතිරි කරන්න පුරුදු වෙන්න. ඒ අනුව ඉතිරි කිරීම පුරුද්දක් කර ගන්න. එයින් ඔබට අනාගතයේ දී සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමට මෙන්ම සතුටින් ජීවත් වන්නටත් හැකි වේ.
උපයන මුදලින් කොටසක් නිතිපතා ඉතිරි කිරීමෙන් ඔබේ මතු ආරක්ෂාව ද තහවුරු වේ. අතීතයේ මව්වරු බත පිළියෙළ කිරීමේ දී පළමුව සහල් මිටක් වෙනත් මුට්ටියකට දමා තැබූහ. එම සහල් මිට අඩු කිරීමෙන් මව හෝ දරුවන් හෝ ස්වාමි පුරුෂයා හෝ වෙනත් අය ආහාර නොගෙන කුසගින්නේ සිටීමට සිදු වූයේ නැත. සිදු වූයේ නොදැනම කාලයක් යන විට නැවත පරිභෝජනයට ගැනීමට හෝ වෙනත් කාර්යයක් සඳහා සහල් ප්‍රමාණයක් ඉතිරි වීමය. එය මහත් සතුටුදායක තත්ත්වයකි.
මෙසේ ඉතිරි කළ මුදල් ආයෝජනය කිරීමේ දීත් කල්පනාකාරී විය යුතු ය.
- ඉතුරුම් තැන්පතු භාර ගැනීමට නීතියෙන් බලය ඇති ආයතන වල පමණක් මුදල් තැන්පත් කළ යුතු ය.
- ඔබ ඉල්ලූ විට මුදල් ආපසු ගැනීමට හැකියාවක් ඇති ආයතනවල පමණක් තැන්පත් කළ යුතු ය. තැන්පත් කිරීමට පෙර එම ආයතනවලට ඉල්ලූ සැනින් මුදල් ආපසු දීමට හැකියාවක් ඇත්දැයි කල් ඇතුව විමසා දැනගත යුතු ය.
- ආකර්ෂණීය වෙළෙඳ ප්‍රචාරවලට හසු නොවී ඔබේ මුදල් තැන්පත් කළ යුතු ආයතනය තෝරා ගත යුතු ය.
- කෙටි කාල සීමාවක් තුළ දී අධික ලාභයක් ගත හැකි යැයි පවසන ප්‍රෝඩාකාරී මුදල් මගඩිවලට හසු නොවීමට වග බලාගත යුතු ය.
- අධික පොලීවලට නොවැරටී තැන්පත් මුදලේ ආරක්ෂාව ගැන නිතර සැලකිලිමත් විය යුතු ය. යමෙක් නීත්‍යානුකූල බැංකුවලට දීමට නොහැකි මට්ටමේ ඉහළ පොලියක් දෙන බව කීවොත් ඒ කෙසේදැයි විමසා දැන ගැනීමට ඔබට අයිතියක් ඇත.

(ඇ) අවශ්‍ය දේට පමණක් වියදම් කරමු
- ඔබ ඔබේ වියදම් කිරීම සිදු කළ යුත්තේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණි.
- එය ද සැලසුම් කළ යුත්තේ ඔබේ ආදායමට ගැලපෙන පරිදි ය.
- අනවශ්‍ය දේට වියදම් කළහොත් ඉතිරි කිරිම් නොමැතිව ඔබට ණය වීමට සිදු වේ.
- එම නිසා ආදායමින් යම් කොටසක් ඉතිරි කළ පසු ඉතිරි වන ප්‍රමණය වියදම් කිරීමට ඔබට සැලැස්මක් සකස් කර ගත යුතුය. එහි දී,
- අත්‍යවශ්‍ය දේ පමණක් මිල දී ගනිමු.
- මිල දී ගැනීම් වල දී හැඟීම් වලට වහල් නොවෙමු.
- ආකර්ෂණීය වෙළෙඳ ප්‍රචාරවලට නොරැවටෙමු.
- මිල දී ගැනීම් වල දී හදිසි නොවී හොඳින් සොයා බලන්න. එනම් සොයා බලා තීරණ ගත යුතු ය.
- කල් දැමිය හැකි වියදම් පසු ව සිදු කරන්න.
- දරුවන්ගේ අධ්‍යාපනය, වෛද්‍ය පහසුකම් ලබා ගැනීම වැනි අත්‍යවශ්‍ය දේ සඳහා පළමු ව වියදම් කරන්න.
අනුකරණ වලට රැවටීමෙන් වලකිමු. අපි භාණ්ඩයක් මිලට ගත යුත්තේ එය අපට අවශ්‍ය නිසා සහ ප්‍රයෝජනවත් නිසා මිස වෙනත් අය එම භාණ්ඩය මිලට ගත් නිසා නොවේ.
අත්‍යවශ්‍ය නොවන අනවශ්‍ය භාණ්ඩ මිලට ගැනීම යනු මුදල් නාස්ති තර ගැනීමක් බව සිතට ගත යුතුය.
(ඈ) සුදුසු ආයෝජනයක් තෝරා ගනිමු
ආයෝජනය යනු තමන්ගේ ආදායම වැඩි කර ගැනීමේ අරමුණින් මුදල් යෙදවීමයි. එනම්,
- බැංකුවක ඉතිරි කිරීම
- ක්ෂුද්‍ර හෝ සුළු වාණිජ ව්‍යාපාරයක් ඇරඹීම
- ගොවිතැන් හෝ සත්ව පාලන කටයුතු වල යෙදීම
- කුඩා කර්මාන්තයක් හෝ වෙළෙඳාමක් ආරම්භ කිරීම
- ආදායම් ඉපයිය හැකි සේවාවක් ආරම්භ කිරීම
යනාදී වශයෙන් ඔබගේ දැනුම, කුසලතාවය සහ අත්දැකීම් වලට අනුව ඔබට තිබෙන කාලය හා ඉඩකඩ ප්‍රමාණය අනුව ආදායම් ලැබිය හැකි නීත්‍යානුකූල සුදුසු කටයුත්තක ඔබේ ආයෝජනය කිරීමට පුළුවන.ආයෝජනයේ දී අවදානමක් පවතින බව සිතට ගන්න. ඒ ගැන මනා ලෙස දැනුවත් වීම වැදගත් ය. එවිට ඔබට අවදානම අඩු කර ගැනීමේ පූර්ව ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකි වේ.
මතක තබා ගන්න ! ඉක්මනින්ම පොහොසත් විය හැකි යැයි කියන පිරමීඩ ආකාරයේ ආයෝජන වලට නම් අහුවෙන්න එපා

(ඉ) කල්පනාකාරී ව ණය ලබා ගනිමු
ඉහතින් සඳහන් කළ පරිදි ඔබේ ආදායමින් කොටසක් ඉතිරි කර ඇත්නම් එම මුදලේ ආයෝජනය කළ හැකි අතර, එය ප්‍රමාණවත් නොවන්නේ නම් හෝ ඉතිරි කිරීම් නොමැති නම් ඉහත සඳහන් කළ පරිදි ආදායම් වැඩි කර ගැනීමට ආයෝජන කාර්යයක යෙදීමට ණය ලබා ගැනීමට සිදු වේ. එනම් ආයෝජනයට ඔබේම මුදල් ප්‍රමාණවත් නොවන විට ණය ගැනීමට සිදු වන බවයි. එහි දී,
- ආයෝජනයේ අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයට පමණක් ණය ලබා ගන්න.
- ණය යනු ආපසු ගෙවිය යුතු වගකීමක් බැවින් ආපසු ගෙවීමේ කාලය කොපමණ ද, වාරික ප්‍රමාණය, පොලී ප්‍රතිශතය, පොලී ගණනය කරන ආකාරය, ණය වාරිකයක වටිනාකම, ණය ගෙවීම සතිපතා හෝ මාසික ව කළ යුතු ද යන්න පිළිබඳ ව ණය ගැනීමට පෙර දැනුවත් වන්න.
- පොලියක් සමඟ ණය වාරිකය ගෙවීම සඳහා ප්‍රමාණවත් ආදායමක් ඉදිරියේ දී ලැබේ දැයි කල් ඇති ව ගණනය කර බැලිය යුතු ය.
- පොලී ගණනය කිරීමේ දී එය හීන වන ක්‍රමයට ද, සමතල ක්‍රමයට ද යන්නත්, දඩ පොලී සහ වෙනත් විවිධ ගාස්තු අය කරනවා ද යන්නත් පිළිබඳ ව කල් ඇති ව සොයා බැලිය යුතු ය.
- ණය සඳහා ඇප සුරැකුම් අවශ්‍ය ද, යම් හෙයකින් ණය ගෙවීමට නොහැකි වුවහොත් සිදු වන්නේ කුමක් දැයි විමසිලිමත් ව බලා ණය ලබා ගත යුතුය.
- පරිභෝජන කටයුතු සඳහා ණය ලබා ගැනීම සුදුසු නොවේ.කුමන හෝ ආදායම් උත්පාදන ක්‍රියාවලියක් සඳහා පමණක් ම ණය ලබා ගැනීම නුවණැති ක්‍රියාවකි.
- එක් ණයක් ගෙවා අවසන් වන තුරු තව තවත් ණය දෙක තුන ලබා ගැනීම නොකළ යුතු ය.
- ණය ලබා ගත් ආදායම් උත්පාදන ක්‍රියාවලිය තුළින් ම උපයා ගන්නා මුදලින් ණය වාරික හා පොලිය ආපසු ගෙවීමට කටයුතු කරන්න.
- ආකර්ෂණීය වදන් වලට රැවටී, කොන්දේසි ගැන නොසිතා දෙනවා වෙනුවට ණය ගැනීමෙන් වළකිමු. එනම් පැනලා දෙන ණය පැනලා ගැනීමෙන් වළකිමු. මෙයින් සිදු වන්නේ ඔබ ණය උගුලකට හසු වීමයි.
බොහෝ අවස්ථා වල දී පෙනී ගොස් ඇති කරුණක් වූයේ තමන් වෙත පැමිණ, මිහිරි වදන් කතා කරන විවිධ පුද්ගලයන්ගෙන් හා ආයතන වලින් ඉතා දැඩි කොන්දේසි යටතේ ණය ලබා ගෙන ඒවා ගෙවා ගත නොහැකිව බොහෝ කාන්තාවන් මහත් පීඩාකාරී තත්ත්වයකට පත් ව ඇති බවයි.
එබැවින් එවැනි අධික පොලී හා කොන්දේසි යටතේ නොයෙක් පුද්ගලයින් ඔබට කරන ණය යෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස අපි විශේෂයෙන් මතක් කරමු. එවැනි යෝජනා වලට එකඟතාව නොදක්වා නුවණින් යුතු ව කටයුතු කිරීමෙන් ඔබේත් ඔබේ පවුලේත් ආරක්ෂාවත්, ගෞරවයත් ආරක්ෂා වනු ඇත.
බොහෝ විට මෙවැනි මගඩිවලට හසු ව අධික ණයගැතිභාවයට පත් ව ඇත්තේ ඉතා උද්යෝගිමත් උත්සහවන්ත කාන්තාවන් ය. ඔවුන් උපයන හැම සතයක් ම මගඩිකරුවන්ගේ අතට පත් වේ. එබැවින් ඔබ ප්‍රවේශම් විය යුතුය.
(ඊ) ප්‍රයෝගකාරී මුදල් මගඩිවලින් ප්‍රවේශම් වෙමු
අදහාගත නොහැකි තරමේ ඉහළ පොලියක් හෝ වෙනත් ප්‍රතිලාභ ලබා දෙන බවට ආකර්ෂණීය පොරොන්දු දෙමින් ඉතා ප්‍රයෝගකාරී ලෙස ඔබේ වටිනා මුදල් හා දේපල වංචා කිරීම මුදල් මගඩියකි. මෙවැනි ප්‍රයෝගකාරී වංචනික ක්‍රියාදාමයන් විවිධ ක්‍රම ඔස්සේ ඔබ වෙත ගෙන එනු ලබයි. ඒ හැම වංචනික ක්‍රමයකින් ම සිදු වන්නේ ඔබ අපහසුවෙන් උපයා ගත් මුදල් ඔවුන් අතට පත් වීමයි.
කිසියම් භාණ්ඩයක් මිලට ගැනීමට හෝ මූලික අරමුදලක් තැන්පත් කිරීමට ඔබ ව පොළඹවා ගැනීමෙන් ඔබත් මෙවැනි මගඩියකට ගොදුරු විය හැකිය. මෙවැනි අවස්ථා වල සිදු වන්නේ පළමු මාස කිහිපය තුළ ඔබේ මුදල් වලට ඉහළ පොලී සහ වෙනත් ප්‍රතිලාභ ලබා දීමයි. ඉන්පසු ඔබේ මුදල් තබා එම මුදල් ලබා ගත් පුද්ගලයින් වත් සොයා ගැනීමට නොහැකි වනු ඇත.
ඇතැම් අවස්ථා වල දී යම් යම් භාණ්ඩ ඔබ අතට පත් කරනු ලබයි. එම භාණ්ඩ වලට සරිලන වටිනාකමක් නොමැත. සාමාන්‍ය වොළෙඳපොළේ ඒවාට ඉල්ලුමක් ද නැත. එය පසු ව වෙනත් අයෙකුට විකුණා මුදල් කර ගැනීමට ද නොහැකි වනු ඇත. මෙවැනි ක්‍රියාවන් ද ප්‍රෝඩාකාරී මගඩි වේ.
යම් කෙනෙක් ඔබට අඛණ්ඩ ව විශාල ප්‍රතිලාභ ලබා ගැනීමට යෝජනා කරනු ලබන්නේ ද, එමෙන්ම එම ක්‍රමයට තවත් අය මුදල් ගෙවා බඳවා ගන්නා ලෙස ඔබට කියයි ද, යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගෙන එය තවත් අයට හඳුන්වා දී අලෙවි කර දෙන ලෙස කියයි ද, සිත්ගන්නාසුලු වදන් වලින් සිත්ගන්නාසුලු ප්‍රතිලාභ මුල් මාස කීපයේ ලබා දෙයි ද, ඒවා නීති විරෝධී පිරමීඩ වැනි යෝජනා ක්‍රමයන් වේ.
ඔබ රවටා අඩු පොලී ප්‍රතිශත මත ණය ලබා ගන්නා ලෙස ඔබ පොළඹවා ඔබට ණය මුදල් ලබා දී පසුව ඒ සඳහා පොලී සති, මාස ක්‍රමයට අධික ලෙස අය කරමින් ඉතා කෙටි කාලයක් තුළ ඔබ ලබා ගත් ණය මුදල මෙන් දෙතුන් ගුණයක ණය උගුලක ඔබ සිර කර ඇත්නම් ඒවාද ප්‍රෝඩාකාරී මුදල් මගඩි වේ.
එබැවින් කාන්තා ඔබ, පවුලේ මූලිකත්වය දරන ඔබ ආදරණීය මවක් බිරිඳක් ලෙස මෙවැනි ප්‍රෝඩාකාරී ක්‍රියාවලට හසු නොවී සමාජ ගෞරවය, පවුලේ ආරක්ෂාව මෙන්ම තම පවුල ඉදිරියට ගෙන යා හැකි ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා බුද්ධිමත් ලෙස මූල්‍ය තීරණ ගත යුතු බව සිහි තබා ගන්න.
ඒ සඳහා ඔබ ඔබේ මුදල් ඉපයීම, ඉතිරි කිරීම, ආයෝජනය, ණය ලබා ගැනීම, ණය භාවිතය සහ වෙනත් මූල්‍ය මගඩි වැනි කරුණු කෙරෙහි මනා ව දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ. මෙලෙස ඔබ මෙම කරුණු කෙරෙහි මනා ව අවබෝධයක් ලබන විට ඔබට මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ ව අවබෝධයක් ඇතැයි සතුටු විය හැකිය.
ඔබ උපයන සීමිත ආදායමට සරිලන පරිදි මුදල් කළමනාකරණය කර ගැනීම තුළින්, පවුලේ දියුණුව සලසා ගැනීම සඳහා ඔබත් මූල්‍ය සාක්ෂරතාව තව තවත් වැඩි දියුණු කර ගන්න.
මූලාශ්‍රය – සටහන, 2021 ජනවාරී – මාර්තු කලාපය, පිටුව 03-07, ශ්‍රී ලංකා මහ බැංකුව