ඉදිරි වසර පහ සඳහා ‘ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්’ සකස් කිරීමට ADB සහ EDB අතර එකඟතාවයක්

Spread the love

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025–2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් කණ්ඩායමක්  පසුගිය අප්‍රේල් 25 වන දින ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමග සාකච්ජාවක් පවත්වන ලදි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති මත පදනම් වූ ණය (PBL) වැඩසටහන යටතේ, ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය ඉහළ නැංවීම සඳහා පුළුල් ජාතික සැලැස්මක් සකස් කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම හමුව පැවැත්විණි.

2018–2022 සඳහා පැවති ජාතික අපනයන උපාය මාර්ග සැලැස්ම (NES) විසින් ස්ථාපිත කරන ලද පදනම මත අපනයන සංවර්ධනය සඳහා වඩාත් ඉලක්කගත සහ දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් අනුගමනය කිරීම මෙම NEDP සැලැස්මේ අරමුණ වේ.

තාක්ෂණික නවෝත්පාදනයන් පිළිගැනීම, නියාමන රාමුව ශක්තිමත් කිරීම සහ තිරසාරභාවය අපනයන ක්‍රියාකාරකම් වෙත එක් කිරීම මගින්, පෙර සාර්ථකත්වයන් ව්‍යාප්ත කිරීම සහ වඩාත් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

NEDP සැලැස්ම සකස් කිරීමේ උපාය මාර්ග, අපනයන විවිධාංගීකරණයේ කාලීන අවශ්‍යතාවය, සහ පොදු දැක්මක් වටා සියලු පාර්ශවකරුවන් පෙළගැස්වීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදි.

2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායමක් ලබා ගැනීමේ ඉලක්කය ඇතුළුව, අපනයන සංවර්ධන සඳහා නිශ්චිත ඉලක්ක සැකසීමේ අවශ්‍යතාවය නිලධාරීන් අවධාරණය කළහ. ඩිජිටල්කරණය ප්‍රයෝජනයට ගැනීම, නව වෙළඳපොළවල් වෙත ව්‍යාප්තිය, සහ විවිධ ක්ෂේත්‍ර හරහා අගය එකතු කිරීම වැඩිදියුණු කිරීම මේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ක‍්‍රියාත්මක උපාය මාර්ග වේ.

මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්මසකස් කිරීම සඳහා මූලික කණ්ඩායමක් පිහිටුවීම, ක්‍රියාකාරී සැලැස්මක් ස්ථාපිත කිරීම සහ ඵලදායී අධීක්ෂණ යාන්ත්‍රණයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී හඳුනාගන්නා ලදී. අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හා අඛණ්ඩ නවෝත්පාදනයන් සමඟ ඵලදායී පාර්ශවකරුවන්ගේ සක්‍රීය සහභාගීත්වය මෙම සැලැස්මේ සාර්ථකත්වය සඳහා ප්‍රධාන සාධක වේ.

ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාව සඳහා තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කරන අපනයන උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සඳහා සමීප සහයෝගයෙන් කටයුතු කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතන දෙකම තම කැපවීම ප්‍රකාශ කළහ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *