තරිඳු ලක්මාල්: කිතුල් චොක්ලට්වලින් ලෝකය දිනන්න සැරෙන තරුණ ව්‍යවසායකයා

Spread the love

මෙම තත්ත්වය තුළ තරුණ වෘත්තිකයින් ද සිය වෘත්තීය කටයුතු අතර තුර නවොත්පාදන සමඟින් නව ව්‍යවසායන් ආරම්භ කර තිබේ. අපේ කතානායකයා ද එවැනි තරුණය ව්‍යවසායකයෙකි.

ඔහු තම නව හඳුන්වාදීම පිළිබඳව සහ ව්‍යවසායකයෙකු වීමේ වැදගත්කම ඇතුළු තවත් බොහෝ දේ අප සමඟ හෙළි කළේය. මේ ඒ ඇසුරින් කළ උපුටා ගැනීමකි.

මම තරිඳු ලක්මාල්. මම ගාල්ල ධර්මාලංකාර විද්‍යාලයෙන් සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයෙන් අධ්‍යාපනය හදාරා මේ වනවිට වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා.

ඔහු හඳුන්වා දුන් නවතම නිෂ්පාදනය වන්නේ ‘කිතුල් චොක්ලට්ය’. තම නව හඳුන්වාදීම පිළිබඳව තරිඳු ප්‍රකාශ කරන්නේ මෙවැන්නකි.

“මම මේ චොක්ලට් එක නිෂ්පාදනය කරන්න බලපෑ හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි සරලව බැලුවොත් ලංකාවේ හොඳ ප්‍රමිතියකින් යුතු චොක්ලට් එකක් සාමාන්‍ය ජනතාවට කන්න හම්බවෙන්නේ නැහැ. මොකද එහෙම චොක්ලට් එකක් නිපදවීම සෑහෙන වියදමක් යන කාරණාවක්. ඉතින් ඇත්තටම කියනවනම් අපි චොක්ලට් කියලා කන්නේ සාමාන්‍ය රස කැවිල්ලක්. මොකද නියම චොක්ලට් එකක් නම් ඒකට කොකෝ පවුඩර් සමඟ කොකෝවා බටර් මිශ්‍ර කරන්න ඕන. ඒ සමඟම ස්වභාවික රසකාරක තියෙනවා නම් එකතු කරන්න පුළුවන්. මේ සියල්ල සමඟින් තමයි චොක්ලට් එකත් නිර්මාණය වෙන්නේ. කොකෝවා බටර් අනිවාර්යයෙන් තිබිය යුතුයි. ඒත් ලංකාවේ සාමාන්‍ය ජනතාවට කන්න ලැබෙන චොක්ලට්වල එහෙම ප්‍රමිතියක් නෑ. මොකද ඒක විශාල වියදම් යන වැඩක් නිසා. ඒත් චොක්ලට් නිෂ්පාදකයන් කරන්නේ කොකෝවා පවුඩර් සමඟ ෆාම් ඔයිල්, සීනි මිශ්‍ර කරලා චොක්ලට් කියලා දෙයක් නිර්මාණය කරන එක. හැබැයි ඒක චොක්ලට් එකක් නෙවෙයි. ඒක සාමාන්‍ය රසකැවිල්ලක් විතරයි. ඉතින් මේකෙන් වෙන එක කාරණාවක් තමයි සෞඛ්‍යයට අහිතකරමය විදියට ඒක බලපාන එක. ඉතින් මෙන්න මේ හින්දා මම හිතා ගත්තා ලංකාවේ සාමාන්‍ය ජනතාවට 2028 වසර වෙන කොටවත් නියම ප්‍රමිතියක් තියෙන චොක්ලට් එකක් මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙනවා කියලා.

මම දැන් මේ නිෂ්පාදන ක්‍රියාවලිය පටන් අරන් අවුරුදු එකහමාරක් විතර වෙනවා. මේ කටයුත්ත කරගෙන යනකොට අපේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා කොකෝවා අවශ්‍ය වෙනවා. ඉතින් අපි එතකොට කොකෝවා ලංකාවේ ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගන්නවා. ඒක ඒගොල්ලොන්ට විශේෂයෙන්ම අතදීමක් වෙනවා. තවතවත් මේ නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු වෙනකොට අපි වැඩිවැඩියෙන් ඒ අයගෙන් කොකෝවා ලබාගන්නවා. මේවා පොල් වගාවක් කරන ඉඩම්වල යටි වගාවක් විදියටත් වගා කරන්න පුළුවන්. අනිත් කාරණාව තමයි කිතුල් චොක්ලට් නිෂ්පාදනය කරනකොට අපට කිතුල් පිටි ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. මේ හේතුව නිසා අපි දැන් ඒ වගාව කරන අයව උනන්දු කරනවා වැඩි වැඩියෙන් කිතුල් පැළ හිටවලා ඒ වගාවන් දියුණු කරගන්න කියලා. ඒක ඒ අයටත් අමතර වෙ‍ෙළඳපොළක් නිර්මාණය වෙන කාරණාවක්.

මේ කටයුතු සිදුකරන අතරතුර අපි පෞද්ගලිකවම කිතුල් පැළ ලබාදීම සිද්ධ කරනවා. මේ වෙනකොට මමත් මගේ මිතුරන් කිහිප දෙනෙකුත් කිතුල් පැළ වෙනම ඉඩම්වල වගා කරලා තියෙනවා. නමුත් ඒවායේ ඵලදාව ලබාගන්න අවුරුදු දෙකක් පමණ යනවා. ඉතින් ඉදිරියේදී එම අමුද්‍රව්‍යවල හිඟකමක් නොතිබෙන්න තමයි අපි ඒ කාර්යයට අතගැහුවේ. මෙන්න මේ කියන කාරණාවත්, ඒ කියන්නේ කොකෝවා ව්‍යාපාරිකයන්ට සහ කිතුල් ව්‍යාපාරයේ යෙදෙන අයට වෙ‍ෙළඳපොළක් ලබාදීමත් මගේ මේ නිෂ්පාදන ක්‍රියාවලියේ එක් අරමුණක් වුණා. කිතුල් කර්මාන්තය සංවර්ධනය වෙන්නත් මෙය හොඳ අවස්ථාවක් කියලා මම හිතුවා.

මේ වෙනකොට මම නිෂ්පාදන කටයුත්ත පවත්වාගෙන යන්නේ මහා පරිමාණයෙන් නෙමෙයි. ඒක ඉතා සාමාන්‍ය විදිහට තමයි කරගෙන යන්නේ. දැනට ආයතනිකව සේවකයන් හතර දෙනෙක් සහිත සහ බෙදාහැරීම් කටයුතුවල සේවකයන් විස්සක් පමණ සේවය කරනවා. අපි මේ කටයුත්ත පුළුල් කරන්න අදහස් කරගෙන ඉන්නේ ක්‍රමානුකූලව. මොකද අපි දන්න කාරණාවක් තිබෙනවා විශේෂයෙන්ම අනාගතයේදී අපට තරගකාරී වෙ‍ෙළඳපොළට එකතු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට අපිට තරග කරන්න සිද්ධවෙන්නේ ප්‍රධානපෙළේ සමාගම් සමඟ. ඉතින් ඒකත් අපිට අභියෝගයක් වෙනවා.

මේ වෙනකොට අපිට ලැබෙන ඉල්ලුම සපුරා ගන්න බැරි තත්ත්වයක් තමයි තිබෙන්නේ. මොකද මේ සඳහා අමුද්‍රව්‍ය සොයාගන්නත් යම් පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි එක මැෂින් එකක් පැය හැත්තෑ දෙකක් විතර එක දිගටම දුවවන්න ඕනේ. ඒකටත් විශාල විදුලියක් වැයවෙනවා. ඒ කොහොම වුණත් අපිට මේ වෙනකොටත් හොඳ වෙ‍ෙළඳපොළක් ගොඩනැඟිලා තිබෙනවා.

මේ වෙනකොට මහා පරිමාණයෙන් නැති වුණත් ඩුබායි, චීනය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රියාව යන රටවලට අපිට ලැබෙන ඕඩර්ස් අනුව අපි නිෂ්පාදන යොමු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි ලංකාව ඇතුළතත් ඔන්ලයින් සේවාව යටතේ බඩු ලබාදීමට කටයුතු කරනවා.

මම ඉස්සෙල්ලා කිව්ව වගේ ලංකාවෙ සාමාන්‍ය ජනතාවට නියම ප්‍රමිතීන් තියෙන රසවත් චොක්ලට් එකක් කන්න හම්බවෙන්නේ නෑ. ඉතින් මම 2028 වෙනකොට ලංකාවේ හැම දෙනාටම නියමාකාරයේ චොක්ලට් එකක් කන්න අවස්ථාව ලබා දෙන්නෙ බලාපොරොත්තු වෙනවා. දැනටමත් ඒ අවස්ථාවට ළඟාවෙන්න අපි ක්‍රමයෙන් කටයුතු කරමින් ඉන්නවා.

කිතුල්වලින් චොක්ලට් නිර්මාණය කරන්න ඉස්සෙල්ලාම, ඒ කියන්නේ මීට අවුරුදු හයකට විතර කලින් මම මඤ්ඤොක්කා පිටිවලින් පර්යේෂණ කටයුතු කිහිපයක්ම සිද්ධ කළා. එයින් මම නිෂ්පාදනයක් ආරම්භ කළා ‘මඤ්ඤොක්කා පෝෂා’ කියලා. ඒකත් මේ වෙනකොට හොඳ මට්ටමකින් අලෙවිවීම සිදු වෙමින් පවතිනවා. ඒ වගේම මම ‘පොල් මිලක් චොක්ලට් නිෂ්පාදනය කරනවා. ඒකටත් ඉහළ ප්‍රතිචාරයක් තිබෙනවා.

මූලාශ්‍ර තොරතුරු – රජිත බස්නායක, දිනමිණ ඊ පුවත්පත

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *