
ඇයගේ අරමුණ වනුයේ තම නිෂ්පාදනයන්ට සරිලන දේශීය වෙළෙඳපොළක් මෙන්ම සැලකිය යුතු මට්ටමින් විදේශීය වෙළෙඳ පොළක් සකස් කර ගැනීමය.
කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත කිරීමෙන් තොරව කාබනික එළවළු හා පලතුරු යොදා ගනිමින් නව නිෂ්පාදන රැසක් මෙන්ම පලා වර්ග ද, දේශීය සහල් වර්ග ද වෙෙළඳපොළට හඳුන්වා දුන් සාර්ථක ව්‍යවසායිකාවක් ලෙස කඳාන ප්‍රදේශයේ පදිංචි නිර්මලා විජේරත්න මහත්මිය සඳහන් කළ හැකිය. ඇය ව්‍යවසායිකාවක් පමණක් නොව ගෘහ ආර්ථික විද්‍යා ගුරුවරියක් මෙන්ම සූපවේදිනියක් ද වේ.
තම ව්‍යාපාරය ආරම්භ කළ ආකාරය සහ එහි ගමන් මග පිළිබදව නිර්මලා විජේරත්න මහත්මිය මෙසේ පැහැදිලි කළාය.
“2013 වසරේදී මම මගේම වෙළෙඳ නාමයෙන් යුතු ව්‍යාපාරය පටන් ගත්තේ නිෂ්පාදන දෙකකින්. ඒ තමයි ලංකාවේ පළමු වතාවට කෝමාරිකා ජෙලි එකක් හැදුවා. ඒ වගේම කෙසෙල් මුවවලින් චිලි බිලි යන නමින් බැදුමක් හැදුවා. නිෂ්පාදන දෙකකින් පටන් ගත්ත ව්‍යාපාරය අද වෙන කොට එළවළුවලින් ආහාර නිෂ්පාදන 12ක් පමණ ද පලතුරු නිෂ්පාදන 40කට අධික ප්‍රමාණයක නිෂ්පාදනයන් සිදු කරනවා. ඒ අනුව කෝඩියල් වර්ග, ජෑම්, චට්නි, අච්චාරු, ලුණු දෙහි, සෝස්, ජෑම්, චිලිපේස්ට්, හාල් මැස්සෝ බැදුම්, මාළු ඇඹුල් තියල්, ඉස්සෝ බැදුම් වැනි ආහාර හා පාන වර්ග රාශියක් තිබෙනවා. ලංකාවේ පළමු වතාවට මාදං කෝඩියල්, ජෑම් නිෂ්පාදනය කළේ මම යි. මල් වර්ගවලින් පිළියෙල කර ගන්නා නොයෙක් ආහාර වර්ග නිෂ්පාදන තිබෙනවා. හැම විටෙකම මම උනන්දු වෙන්නේ පාරිභෝගිකයන්ගේ ගුණය හා පෝෂණය පිළිබඳ සිතා කටයුතු කරන්නයි.”
“මීට අමතරව නිල් කටරොලුවලින් කෑම බීම වට්ටෝරු 260 ක් පමණ මම හදලා තියෙනවා. ඒ අතර නිල් කටරොලු වයින්, අයිස් ක්‍රීම් හා ජෙලි ජුජුප්ස්වලට ඉහළ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම තමයි, සීනි රහිත නෙල්ලි බීම, කෝවක්කා කොළ මැල්ලුම, කෝවක්කා කොළ මාළුව, තෙබු කොළ මැල්ලුම්, තෙබු කොළ මාළුව හා තිබ්බටු මැල්ලුම වැනි ආහාර නිෂ්පාදන තිබෙනවා. මේ නිෂ්පාදන දියවැඩියා රෝගීන්ටත් ගුණදායකයි. පළමු වතාවට කොහිලවලින් සොසේජස් එක හදලා වෙළඳපොළට ඉදිරිපත් කරලා තිබෙනවා, ඒකටත් යහපත් ප්‍රතිචාර ලැබෙනවා.”
ගෘහ ආර්ථික විද්‍යා විෂය ඉගැන්වූ ගුරුවරියක් ලෙසින්ද සූපවේදිනියක් ලෙසින්ද නිර්මලා විජේරත්න මහත්මියට පලතුරක හෝ එළවළුවක අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථයන් කුමක්ද යන්න අවබෝධයක් තිබේ. එහෙයින් ඇය විසින් දේශීය එළවළු හා පලතුරුවලට මූලිකත්වයක් ලබාදෙමින් නිෂ්පාදනයන් සිදු කරන අතර දේශීය වුවත් කවුරුත් වැඩියෙන් ආහාරයට නොගන්නා බිලිං, කාමරංගා, නෙල්ලි, කෝමාරිකා වැනි ඖෂධීය වටිනාකමක් ඇති දේවල්වලින් ද ආහාරමය නිෂ්පාදන සිදුකර ඇත.
“කෝමාරිකා මම වගා කරනවා. කෝමාරිකා වුණත් ගැස්ට්‍රයිටිස්වලට ඉතා හොඳ දෙයක්. ඒ වගේම තමයි රුව හා සමේ පැහැපත්භාවය සඳහාත් කෝමාරිකා ඉතාම වැදගත්. බොහෝ අය කියන්නේ දියවැඩියා රෝගය හා පිළිකා සඳහා මෙය ඉතා ගුණ ඖෂධයක් වන බවයි. ඒ නිසාම කෝමාරිකාවලින් හදන කෝමාරිකා අයිස් ක්‍රීම්, යෝගට් නිෂ්පාදන තිබෙනවා. ඊට අමතරව යටිනාරං, හීන්බෝවිටියා වැනි ඔසුකැඳ වර්ගවලින් ශරීරයේ අධික ස්ථූලතාවය පාලනය කර ගන්න පුළුවන්. ඖෂධීය ශාකයන්ගෙන් ආහාර නිෂ්පාදන කිරීම පමණක්ම නොවෙයි, ඒ ආහාර කෑමට ප්‍රියජනක වන අයුරින් සකස් කරන්න ඕන. ඒකයි වැදගත් වෙන්නෙ. මම ඒ ගැන සැලකිලිමත් වෙනවා.”
නිර්මලා විජේරත්න මහත්මිය, තම නිෂ්පාදනයන්ට කෘත්‍රිම රසකාරකයන්, වර්ණ කාරකයන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා කිසි විටෙක භාවිත නොකරයි. ඇයගේ ආහාර පාන ආදියෙහි ස්වාභාවික රසය සෑම අයුරින්ම ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන අතර නිෂ්පාදන කල්තබා ගැනීම සඳහා කිසිදු රසකාරකයක් භාවිත නොකරයි. විශේෂයෙන්ම ශරීරයට අහිතකර දේවල් භාවිත කිරීම ඇය කිසිවිටෙකත් අනුමත නොකරන්නීය.
“වර්තමානයේ මිනිස්සු කාර්යබහුල වීම නිසා තම ආහාරය සඳහා ක්ෂණික ආහාරවලට යොමු වීම කාලීන වශයෙන් නොයෙකුත් රෝගාබාධයන්ට ගොදුරු වෙනවා. ඒ ගැන මිනිස්සු තේරුම් අරගෙන ඉන්නවා. ඒ නිසා මිනිසුන් දැන් වැඩි වශයෙන් ගුණයෙන් හා පෝෂණයෙන් පිරි ස්වාභාවික ආහාර ගැනීමට වැඩි උනන්දුවක් දක්වනවා. ඒ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දෙන්න මම හැම විටෙකම උත්සාහ කරනවා.”
තම ගෘහ ආර්ථික විද්‍යා විෂය පිළිබඳ දැනුම භාවිත කරමින් පෝෂණය හා සමබල ආහාරවේල් පිළිබඳ විවිධ වැඩසටහන් ද සිදු කරන්නීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පලා කොළ වර්ග 160ක ප්‍රමාණයක් ආහාරයට ගත හැකි බව ඇය පවසන අතර, ඒ පිළිබඳව කෘතියක් ද රචනා කරයි.
“මම නිෂ්පාදන සඳහා එළවළු පලතුරු ලබා ගන්නේ විවිධ ප්‍රදේශවල සිටින සහතිකලත් ගොවීන්ගෙන්. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිතව වගා කරන ගොවීන්ගෙනුත් මිලදී ගැනීම සිදු කරනවා. නෙල්ලි, අනෝදා, කටු අනෝදා, මාදං, වෙරළු වගේ පලතුරුවලට කෘත්‍රිම පොහොර යෙදීමක් සිදු වෙන්නෙ නැහැ. කටු අනෝදා පලතුරට ලොකු කුඩා කවුරු අතරත් කැමැත්තක් තිබෙනවා. වෙරළු වගේ දේවල් ඇත්තටම කවුරුත් පොහොර දාලා හදන ඒවා නෙමෙයි. ඒ නිසා එහි ගුණාත්මකභාවය ගැන 100%ක් සහතික වෙන්න පුළුවන්.”
මේ සියලු නිෂ්පාදන මනාව ඇසුරුම් කර වෙළඳපොළට බෙදාහැරීමේ කටයුතු කඳානේ නිෂ්පාදන ආයතනයේ දී සේවකයන් අතින් ඉතා ආරක්ෂාකාරි අයුරින් සිදු වේ. ආහාර ප්‍රමිතිකරණයට අදාළ සියලුම සහතික තම ව්‍යාපාරික ආයතනයට ලබා ගෙන ඇති බවත්, ව්‍යාපාරික ආයතනය ජාතික වශයෙන් සම්මාන ද හිමි කර ගෙන ඇති බවත් නිර්මලා විජේරත්න මහත්මිය ප්‍රකාශ කර සිටියි. දේශීය වෙළඳපොළ පමණක් නොව විදේශීය වෙළඳපොළ ද ඉලක්ක කරගනිමින් තම නිෂ්පාදන අපනයනය සඳහා ද මේ වන විට ප්‍රවේශ වී තිබේ. ඒ අනුව කැනඩාවට සුළු වශයෙන් නිෂ්පාදන බෙදාහැර තිබේ. ඇයගේ අරමුණ වනුයේ තම නිෂ්පාදනයන්ට සරිලන දේශීය වෙළෙඳපොළක් මෙන්ම සැලකිය යුතු මට්ටමින් විදේශීය වෙළෙඳ පොළක් සකස් කර ගැනීමය.
“කෘත්‍රිම රසායනික ද්‍රව්‍යවලින් තොර ගුණාත්මක නව නිෂ්පාදනයන් සිදු කරමින්, සූප ශාස්ත්‍රයේ මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉදිරියට යාම තමයි මගේ අරමුණ. අප හැම විටෙකම පෝෂණ ගුණයෙන් යුක්ත සමබර ආහාරවේලක් ගන්න ඕන. එතකොට සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට අපට හැකිවේවි.” යනුවෙන් නිර්මලා විජේරත්න මහත්මිය සඳහන් කළාය.
එම්. තාරික් – දිනමිණ ඇසුරිනි