Global Franchise Forum 2025 සාර්ථක ලෙස නිමාවෙයි

Spread the love

Global Franchise Forum (GFF) හි ශ්‍රී ලංකා හමුව අප්‍රේල් 27 වැනිදා කොළඹ ෂෙරටන් හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.

මෙම අවස්ථාවට ගෝලීය සන්නාම, ආයෝජකයින්, ව්‍යවසායකයින් සහ ව්‍යාපාර නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්වූ අතර, ව්‍යාපාර සබඳතා ගොඩනඟාගැනීමට මෙන්ම දැනුම බෙදාගැනීමට සහ නව අවස්ථා ජනනය කරගැනීමට ද එය පුළුල් වේදිකාවක් සැපයීය. එමෙන්ම සංචාරක, වෙළෙඳ, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන වැනි ක්ෂේත්‍ර රැසක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකයින් ඇතුළු ව්‍යවසායකයෝ එම අවස්ථාවට එක්ව සිටියහ. තවද එම ක්ෂේත්‍රවලට අදාළ තීරණ ගැනීමේ පාර්ශ්ව ද මෙම හමුවට එක්වීම විශේෂත්වයක් විය.

ඉන්දු-ලංකා වාණිජ මණ්ඩලය, ලංකා ජාතික කර්මාන්ත වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලය, කොළඹ වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත වාණිජ මණ්ඩලය මෙන්ම ඉන්දියානු කුඩා ව්‍යාපාර සහ වෙළෙඳ සංගමය ද මෙම හමුවට සිය දායකත්වය ලබාදීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකාව තුළ මෙවැනි උද්‍යෝගිමත් සහ වැදගත් සහභාගීත්වයක් දැකගැනීමට ලැබීම ගැන අපි මහත් සේ සතුටට පත්වෙනවා. මෙය හුදෙක් හමුවකට එහා ගිය විවිධ අදහස්, වෙළෙඳපොළවල් සහ අවස්ථාවන්ගේ එකතුමුවක් ලෙස හැඳින්විය හැකියි. විශේෂයෙන්ම හමුව අතරතුර, ගෝලීය සන්නාම හා අත්වැලි බැඳගනිමින්

ඉදිරියට යාමට ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සතු උනන්දුව අපට හොඳින් දැකගැනීමට ලැබුණා යනුවෙන් Franchise India Group හි සභාපති ගෞරව් මාර්යා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව, දකුණු ආසියාව තුළ ව්‍යාපාරකරණයට සුදුසු ස්ථානයක් ලෙස අඛණ්ඩව ඉදිරියට එමින් තිබේ. ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින පාරිභෝගික පදනම සහ ගෝලීය සන්නාම කෙරෙහි ඇති ඉල්ලුම ද ආයෝජන සඳහා ඇති ප්‍රතිපත්තිමය වටපිටාව ද මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැනුණි. එහිදී හුදෙක් ගෝලීය සන්නාම ප්‍රදර්ශනය කිරීමට අමතරව, පූර්වයෙන් සැලසුම් කරන ලද ව්‍යාපාර සාකච්ඡා, දැනුම බෙදාගැනීමේ සැසි ආදිය ද සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකාව වේගයෙන් ආර්ථික පුනර්ජීවය අත්කරගනිමින් සිටිනවා. ගෝලීය වශයෙන් වෙළෙඳ කටයුතුවලට මතුව ඇති බාධා හමුවේ පවා දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇතිකරගත හැකි තිරසර ගෝලීය සහයෝගීතා වෙනුවෙන් සහාය වීමට Global Franchise Forum 2025 ශ්‍රී ලංකා හමුවට අවස්ථාව උදාවුණා යනුවෙන් ගෞරව් මාර්යා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *