ධනුෂ්කා කරුණාරත්න : ආයූර්වේදයෙන් ලොව දිනන අපේ කථිකාචාර්යවරිය

Spread the love

මවක්, බිරිඳක්, විශේෂඥ වෛද්‍යවරියක්, කථිකාචාර්යවරියක් හා ව්‍යවසායිකාවක් වශයෙන් භූමිකා පහක් නිරූපණය කරන ඇය නමින් ධනුෂ්කා කරුණාරත්නයි. මේ ධෛර්යවන්ත කාන්තාව අපට හමුවන්නේ මාලඹේ, අරංගල ප්‍රදේශයෙනි. ඇය ධී ආයූර්වේද පුද්ගලික සමාගමේ හිමිකාරිණියයි.

වෘත්තියෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් මෙන් ම කාන්තා රෝග පිළිබඳ ආයූර්වේද විශේෂඥ වෛද්‍යවරියක්. දැනට ලංකාවේ සිටින කාන්තා රෝග සම්බන්ධ විශේෂඥ ආයූර්වේද වෛද්‍යවරුන් අටදෙනාගෙන් එක් අයෙක් ලෙස ද ඇයව නම් කළ හැකියි. මේ සියල්ල පසුපස සිටින සෙවණැල්ල, ඇගේ සැමියා (මහාචාර්ය ආර්. එස්. ජයවර්ධන) කොළඹ විශ්වවිද්‍යාලයේ ආයූර්වේද වෛද්‍ය විද්‍යායතනයේ මහාචාර්යවරයෙක්.

විශ්වවිද්‍යාලයේදි ඉගෙන ගත්ත සංකල්ප ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් පිළිබඳ සිහිනවල අවසන් ප්‍රතිඵලය ලෙසින් සිලෝන් ධී ආයූර්වේද පුද්ගලික සමාගම බිහිකරන්න ඇය සමත් වෙනවා.

මුලින් ම වෛද්‍ය විද්‍යාලයට යන්නට තිබුණ සිහිනය බිඳවැටුනම දෙවෙනිවර ඇය වෛද්‍ය විද්‍යාලයට තේරුණත් දෛවය විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ආයූර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට ඇයට අවස්ථාව ලබාදෙනවා.

“ආයූර්වේදය ඉගෙන ගන්න එනකොට හැමෝම කිව්වේ ආයූර්වේදය තෝරගන්න එපා කියල. බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න සුදුසුකම් තියෙන නිසා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙනුත් උපදෙස් දුන්නෙ බටහිර වෛද්‍ය විද්‍යාවට යන්න කියල. ඒත් දෛවය ඒ සියල්ල වෙනස් කළා… ”

2014 දෙසැම්බර් මාසයේ ආරම්භ කරපු සිලෝන් ධී ආයූර්වේද පුද්ගලික සමාගම මුලින් ම, කාන්තා රෝග සම්බන්ධ ආයූර්වේද වෛද්‍ය සායනයකින් සේවාවන් ආරම්භ කරනවා. පසුව බාහිර රෝගී අංශය, වෛද්‍ය අධ්‍යාපනය, ආයුර්වේද පංචකර්මය, ආයූර්වේද රූපලාවන්‍ය, යෝග ආදී සේවා රැසක් ලබා දෙනවා වගේම රසායනික ද්‍රව්‍යවලින් තොර ආයූර්වේද නිශ්පාදන රැසක් දැනට දේශීය වෙළඳපොල වෙත නිකුත් කරනවා.

 “අපි මුලින් ම රූපලාවන්‍ය නිෂ්පාදන තමයි ආරම්භ කළේ. මේ වෙනකොට හිසට, සමට, මුහුණට හා විශේෂ රෝග සඳහා රූපලාවණ්‍ය කටයුතු නිෂ්පාදන පෙළක්ම දේශීය වෙළඳපොළට යොමු කරනවා. අපේ නිෂ්පාදන ආයූර්වේද අලෙවිසැල්වලින් සහ අන්තර්ජාලය ඔස්සේත් ඇනවුම් කරන්න පුළුවන්. ලංකාවේ ඕනෑම තැනකට අපේ නිෂ්පාදන ලබා ගන්න පුළුවන්. ”

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග සෑම ක්ෂේත්‍රයකටම බලපෑම් එල්ලවෙද්දි ඒ සඳහා මුහුණ දෙන්න ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ධනුෂ්කා කරුණාරත්න මහත්මිය සූදානම් වුණා. මාර්ගගතව අධ්‍යාපනය ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකස් කරල එය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහ කොවිඩ් රෝගීන් සඳහා දේශීය වෛද්‍ය ක්‍රමවේදයක් ඔස්සේ විවිධ පහසුකම්  සපයමින් සමාජ සේවාවන් රැසක් සිදු කළා. මේ සියල්ලක්ම සිදු කළේ සැලසුම් සහගතව බව ඇය අප සමග කියා සිටියා.

“මම කාලය කළමනාකරණය කරගෙන වෘත්තීය ජීවිතය යි, ව්‍යාපාර ජීවිතය යි, පවුල් ජීවිතය යි සැලසුම් කරගෙන තිබෙනවා. ඒ වගේම අපට හැමදෙනාම හොඳ සහයෝගයක් ලබා දෙනවා. අපට හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නව. දැනට අපේ ආයතනයේ පූර්ණකාලීන සේවකයන් පස් දෙනෙක් සහ අර්ධකාලීනව 20-25ක පමණ සේවය කරනවා. කොවිඩ් 19 තත්ත්වය නොමැති කාලයේ මාසයකට 1500ත් 2000ක් අතර ප්‍රමාණයක් අපේ සේවාවන් ලබා ගන්නව. ”

දේශීය වෙළඳපොළ පමණක් නොව, විදේශීය වෙළඳපොළ ජයගන්නත් ඇය මේ වන විට සමත්වෙලා තිබෙනවා. පළමු අපනයන ඇණවුම ලෙස ආයූර්වේද රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් ඕස්ට්‍රේලියාව වෙත යැවීමට නියමිතව තිබෙනවා. තමන්ගෙ දැනුම ආයෝජනය කරල විදේශ විනිමය සොයන්නට සැරසෙන මෙම ව්‍යවසායිකාව  අපනයන සංවර්ධන මණ්ඩලය ගැන දක්වන්නේ මෙවන් අදහසක්.

“ඇත්තට ම අපනයන සංවර්ධන මණ්ඩලයෙන් මට බොහෝ දේවල් හිමිවුණා. නිෂ්පාදන සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට එහි කාර්ය මණ්ඩලය නිරතුරුව ම සහයෝගය දක්වනවා. ඒ විතරක් නෙවෙයි, බොහෝ වැඩමුළුවලට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ වගේම කාන්තා ව්‍යවසායකත්ව වැඩසටහන්වලට සම්බන්ධ වීමට මට හැකියාව ලැබුණා. එයින් මූල්‍ය  සහයෝගය පවා ලබා ගැනීමට පුළුවන් වුණා. 2019 වසරේ මගේ පළවෙනි ජාත්‍යන්තර අත්දැකීම ලබා ගන්න ඕස්ට්‍රේලියාවේ වැඩමුළුවකට යන්න අවස්ථාව හිමි වුණා. අපනයන සංවර්ධන මණ්ඩලය මගින් යොමු කරන ලද “Australia Awards – Women Trading Globally” සති දෙකක කෙටි පාඨමාලාව හැදෑරීමටත් එහිදී අවස්ථාවක් ලැබුණා. නිෂ්පාදන ප්‍රවර්ධනය කරන විදිය මම ඕස්ට්‍රේලියාවෙදි ඉගෙන ගත්තා. විවිධ

සම්බන්ධතා ගොඩනගාගන්න විශාල අවස්ථාවක් උදාවුණා. ජාත්‍යන්තර කාන්තා දින සමරුමට අදාලව EDB මගින් 2021 වසරේ අපනයන වෙළඳපොළ ඉලක්ක කර පවත්වන ලද තරගයෙන් “හොඳම අපනයන අළෙවිකරණ සැලැස්ම” වෙනුවෙන් හිමි දීමනාව ලැබුණා. ඒ වගේම නව අපනයනකරුවන් බිහි කිරීමේ වැඩසටහන යටතේ Export Coaching වැඩසටහනටත් ඉදිරිපත් වෙලා ජයග්‍රහණය ලබල මූල්‍ය පරිත්‍යාගයක් පවා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගත්ත. ඒ වගේම සියලු නිෂ්පාදන සඳහා සහතික ලබා ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලය මූල්‍ය සහයෝගය ලබා දීල තියනවා. ”

අපනයන සංවර්ධන මණ්ඩලය එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය (COMSEC) සමඟ සහයෝගයෙන් “ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහ ඊ-වාණිජ්‍යය වෙළඳාම දියුණු කිරීම සඳහා තාක්ෂණික සහාය” පිළිබඳ ලංකාවේ පැවති දින තුනක වැඩමුළුවකට සහභාගී වන්නට ඇයට අවස්ථාව උදාවුණු බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

ඉදිරියේ දී නව වෙනසක් සමගින් ව්‍යාපාරය සංවර්ධනය කිරීමට ඇය දැනටමත් කටයුතු කරමින් සිටින අතර ඉදිරියේ දී දැනට පවත්වා ගෙන යන නිෂ්පාදනාගාරය පුළුල් කිරීමට කටයුතු කර ගෙන යනු ලබනවා. ප්‍රවර්ධනය හා ඇසුරුම්කරණය පිළිබඳ නැවුම් වෙනසක් ඉදිරියේ දී සිදුවන බව ද ඇය සඳහන් කළා. අලුතෙන් ව්‍යාපාරයක් අරඹන කෙනෙක්ට ඇගේ අත්දැකීම් මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“තමන්ට ගැළපෙන ව්‍යාපාරයක් පටන් ගැනීම ඉතා ම වටිනා දෙයක්. ඒකට තිබෙන හැකියාව, පරිසරය, පවුල් පසුබිමෙන් ලැබෙන සහයෝගය වැනි කාරණාත් ඉතා ම වැදගත්. කෙටියෙන් ම කියනව නම් අපට දැනෙන අපි ආස කරන ක්ෂේත්‍රයක් තෝරගත්තොත් හැම දෙයක්ම සාර්ථක කර ගන්න පුළුවන්. ”

සිලෝන් ධී ආයූර්වේදික් පුද්ගලික සමාගම දේශීය සැපයුම් ජාලයක් ගොඩනගා ගනිමින් සිටින අතර ලංකාව පුරාම විසිරී සිටින ආයූර්වේදය සම්බන්ධ විශ්වවිද්‍යාල සිසුන් එයට සම්බන්ධ වී සිටිනවා. ඊට අමතරව මෙම ආයතනයට අමුද්‍රව්‍ය සැපයීම සඳහා ඕනෑම කෙනෙක්ට සම්බන්ධ විය හැකියි.

දාස්පෙතිය මල්, කුරුඳු, පොකුරු වදමල්, කී කිරිඳිය, නිල් අවරිය, උළු හාල්, සැවැන්දරා, රෝස පැහැ පෙති සහිත රෝස මල් ප්‍රමිතියෙන් යුතුව ලබා දිය හැකියි. ඒ සඳහා ධී ආයුර්වේද ආයතනයේ 011 2185516 අංකය මෙන් ම 071 7772402 (ආචාර්ය ධනුෂ්කා කරුණාරත්න), 0714318729 (මහාචාර්ය ආර්. එස්. ජයවර්ධන) යන දුරකථන අංකවලට ඇමතීමෙනුත් වැවි විස්තර ලබා ගත හැකියි.

තමන් දන්න දෙයින් ඉහළට ම යන්න හිතන හැම කෙනෙකුටම ධනුෂ්කා කරුණාරත්න මහත්මිය ආදර්ශමත් කාන්තාවක්. අපේ රටේ දැනුම තිබෙන හැකියාව තිබෙන මෙවැනි අය සෑම ක්ෂේත්‍ර‍කම ඉන්නවා. අලුත් විදිහට හිතන්න පුළුවන් නම් මේ හැම දෙනාට ම පුළුවන් සාර්ථක ව්‍යවසායකත්වයක් ගොඩනගාගෙන රට විතරක් නොවෙයි ලෝකයත් දිනන්න.

සංවාද සටහන – මාධ්‍ය ඒකකය, ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *