DFCC බැංකුව 2025 පළමු කාර්තුවේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

Spread the love

DFCC බැංකුව 2025 වර්ෂයේ පළමු කාර්තුව තුළදීත් සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. එම කාර්තුව තුළ DFCC සමූහය රු. බිලියන 2.9ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එහි සමස්ත වත්කම් 8% කින් වර්ධනය වී රු. බිලියන 765ක් ලෙස වාර්තා වී තිබේ. මේ අතර Acuity Partners හි තමන් සතුව පැවති 50%ක කොටස් ක්‍රමෝපායිකව බැහැර කිරීමත් සමඟ බැංකුවේ බදු පසු ලාභය රු. බිලියන 7.8ක් විය.

ප්‍රධාන බැංකුකරණ මෙහෙයුම් කටයුතු ශක්තිමත්ව පැවතුණු අතර, බැංකුවේ ශුද්ධ පොලී ආදායම 5% කින් වර්ධනය වී තිබේ. ජංගම හා ඉතුරුම් ගිණුම් තැන්පතු වර්ධනය වීම සහ පොලී අනුපාත පහළ යමින් පැවති වාතාවරණයක් තුළ සාර්ථක ලෙස අනුපාතයන් සංශෝධනය කිරීම මීට හේතු විය. ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA ratio) 26.47% දක්වා වර්ධනය වූ අතර, ශුද්ධ පොලී ආදායම රු. බිලියන 7.4ක් විය. පෙර වසරට සාපේක්ෂව ගාස්තු සහ කොමිස් ආදායම 24% කින් වර්ධනය වී ඇති අතර, ප්‍රේෂණ ඉහළ යාම සහ ක්‍රෙඩිට් කාඩ්පත් මෙහෙයුම් කටයුතු පුළුල් වීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. සාර්ව ආර්ථික පරිසරය යහපත් වීම සහ ණය ආපසු අය කරගැනීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම හේතුවෙන් අක්‍රිය ණය ප්‍රතිපාදන 14% කින් පහළ ගොස් රු. බිලියන 1.3ක් ලෙස වාර්තා වී තිබේ. වඩාත් යහපත් වත්කම් ගුණාත්මකභාවයක් පිළිබිඹු කරමින් අදියර 3 අක්‍රිය ණය අනුපාතය 5.38% දක්වා වර්ධනය විය. උද්ධමනය සහ කාර්ය මණ්ඩල ප්‍රතිලාභ හේතුවෙන් මෙහෙයුම් පිරිවැය ඉහළ ගිය නමුන් පිරිවැය කළමනාකරණය සඳහා අවශ්‍ය පියවර ගැනීම හේතුවෙන් වියදම් පාලනය කරගැනීමට හැකියාව ලැබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි තිමල් පෙරේරා මහතා පැවසුවේ නිවාස හා රථවාහන මූල්‍ය පහසුකම්, රන් ණය පහසුකම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් ප්‍රේෂණ සේවාවන් ආදිය ඔස්සේ ගනුදෙනුකරුවන්ට උපරිම ප්‍රතිලාභ පිරිනැමීමට DFCC බැංකුව දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවයි. සිය 70 වැනි සංවත්සරය සමරන මේ වසරේදී බැංකුව දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය, මූල්‍ය අන්තර්කරණය සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන් උදෙසා තිරසර දියුණුවක් සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *