Forward Together 2025: කොමර්ෂල් බැංකුව තිරසාරභාවය වෙනුවෙන් සාමූහික කැපවීම දිරිමත් කරයි

Spread the love

පාරිසරික හා සමාජ වගකීම් සඳහා වූ ජාතික ගමනේ නායකත්වය තහවුරු කරමින්, සාම්ප්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට යන පියවරක් ලෙස කොමර්ෂල් බැංකුව විසින් තිරසාරභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික සමුළුව මෑතකදී පවත්වන ලදී.

ජුනි 26 වන දින සිනමන් ලයිෆ් හිදී පැවතිි ‘ForwardTogether 2025’ එක්දින සමුළුව හරහා ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන අනාගතයක් බිහි කිරීම සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDG) සාක්ෂාත් කර ගැනීම පිළිබඳව සංවාදයක් ගොඩනැගීම හා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම වෙනුවෙන්  ප්‍රතිපත්ති සම්පාදකයින්, ආයතනික නායකයින්, සංවර්ධන නියෝජිත ආයතන, ශාස්ත්‍රඥයින්, තිරසාර විශේෂඥයින් හා තරුණ නියෝජිතයින් එක්රැස් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහභාගී වූ අතර ප්‍රධාන කථිකයා ලෙස එක්වූයේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය යි.

සමුළුව අමතමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන සමුළුවක් සංවිධානය කිරීම සඳහා කොමර්ෂල් බැංකුවේ මුලපිරීම අගය කළ අතර එය ඉතා කාලෝචිත තේමාවක් බව පැවසීය. ඉදිරි වසර පහ සඳහා මූල්‍ය අංශයට මඟ පෙන්වීම සඳහා මහ බැංකුව තිරසාර මූල්‍ය පෙර දැක්ම 2.0 දියත් කර ඇති අවස්ථාවක මෙම සමුළුව පැවැත්වෙන බව ආචාර්ය වීරසිංහ මහතා පැවසීය. මූල්‍ය අංශය මේ ආකාරයෙන් එහි අරමුණු සඳහා දායක වන ආකාරය දැකීම සතුටට කරුණක් බව ද ඔහු පැවසීය.

ප්‍රධාන දේශනය පවත්වමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය පැවසුවේ ශ්‍රී ලංකාවේ බැංකුවලට මූල්‍ය අන්තර්ගතකරණය ඉදිරියට ගෙන යාම, හරිත ණය ඇතුළු තිරසාර නිෂ්පාදන ශක්තිමත් කිරීම, දේශගුණික මූල්‍ය නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාම සහ හරිත කුසලතා සහ දැනුම සඳහා ආයෝජනය කිරීම මගින් රටේ තිරසාරභාවය පිළිබඳ න්‍යාය පත්‍රයට සහාය විය හැකි බවත්, මෙම උත්සාහයන්ට සහාය වීමට UNDP සූදානම් බවයි.

කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හන් මුෂීන් මහතා මෙසේ අවධාරණය කලේය. “මෙම සමුළුව අපගේ තිරසර ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. වඩාත් තිරසර ශ්‍රී ලංකාවක් සහ වඩාත් තිරසර ලොවක් කරා යන අපගේ සාමූහික ගමනේ ආරම්භය මෙය වේ. සැබෑ වෙනස ආරම්භ වන්නේ අප සියළු දෙනා එකට එක් වූ විටයි. අප සෑම අයෙකුට ම ඉටු කිරීමට කාර්යභාරයක් ඇති අතර, අපි ගොඩනැගීමට අපේක්ෂා කරන අනාගතය, එක්ව හැඩගස්වන මාවතකට අපි මෙසේ ගමන් කරමින් සිටිමු.”

මෙම සන්ධිස්ථානීය උත්සවයේ ආරම්භක දේශනය පවත්වමින්, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා තිරසාර මූල්‍යකරණය හා විවිධ අංශ අතර සහයෝගීතාවය තුළින් ජාතික පරිවර්තනයට පහසුකම් සැලසීම වෙනුවෙන් වූ බැංකුවේ කැපවීම ප්‍රකාශයට පත් කලේය.

“පරිසරය, සමාජය සහ යහපාලනය වෙත අපගේ ප්‍රවේශය මගින් අපගේ වගකීමෙන් යුත් නායකත්වය, මූල්‍ය අන්තර්ගතකරණය, පාරිසරික භාරකාරීත්වය සහ වඩා හොඳ යහපාලනයක් ඇති කිරීම සහතික කරයි,” යැයි මනතුංග මහතා පැවසීය: “හුදෙක් අනුකූලතාවය දැක්වීමෙන් ඔබ්බට ගොස් අපි ප්‍රජාව බලගැන්වීමේ සිට කාබන් – උදාසීන බැංකුකරණයේ පුරෝගාමීත්වය දක්වා කල් පවතින බලපෑමක් ඇති කරන්නෙමු. මෙම තිරසර සමුළුව පැවැත්වීමෙන් තිරසරභාවය පිළිබඳ ජාතික සංවාදයකට නායකත්වය දීමට ස්වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වීමට ලැබීම ගැන අපි ආඩම්බර වන අතර, සියළු දෙනාටම හරිත වූත්, වඩාත් අන්තර්ගතකරණය වූත් අනාගතයක් ඇති කිරීමට ද කැපවී සිටින්නෙමු.”

අභියෝග හා ජනනය වෙමින් පවතින අවස්ථා ගවේෂණය කිරීම සඳහා UNDP, පරිසර අමාත්‍යාංශය, UNFPA සහ මූල්‍ය අංශයේ පිරිස් එක්රැස් කරමින්,  සමුළුවේ ආරම්භයේදී විද්වත් සාකච්ඡාවක් හරහා ශ්‍රී ලංකාවේ තිරසාර පසුබිම පරීක්ෂා කරන ලදී. එහිදී, ගෝලීය වශයෙන් වූ කැපවීම් සමඟ ජාතික ප්‍රතිපත්තිය පෙළගැස්වීම, තිරසර මූල්‍ය උපක්‍රම ඉදිරියට ගෙන යාම, සහ තිරසරභාවය දිගුකාලීන ආර්ථික උපාය මාර්ගවලට ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමු විය.

ඉන්පසුව, සමුළුව තේමා දෙකක් යටතේ ගැඹුරු තාක්ෂණික සැසි මාලාවක් දක්වා ව්‍යාප්ත විය. දහවල් කාලයේදී, පුනර්ජනනීය බලශක්තියට සංක්‍රමණය වීම; ජල ආරක්ෂණය සහ දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දෙන පාලනය; චක්‍රීය ආර්ථිකයන් හා අපද්‍රව්‍ය පරිවර්තනය; තිරසාර කෘෂිකර්මාන්තය සහ ආහාර පද්ධති; ජෛව විවිධත්ව සංරක්ෂණය; සහ දේශගුණික මූල්‍යකරණය සඳහා සාධාරණ ප්‍රවේශය, යනාදී තේමා යටතේ සමාන්තර ව පැවැත්වූ සාකච්ඡා හයක් හරහා වඩාත් තීරණාත්මක තිරසාර ක්ෂේත්‍ර ආමන්ත්‍රණය කරන ලදී. තාත්වික ප්‍රතිඥා හා විවිධ අංශ අතර සහයෝගීතාවය දිරිමත් කරමින් කමිටු සාමාජිකයින් වෙතින් නව්‍යෝත්පාදන, ප්‍රජාව තුළ බිහිවූ ආකෘති සහ පරිවර්තනීය ප්‍රතිපත්ති රාමු ඉදිරිපත් විය.

‘සාධාරණත්වය ක්‍රියාවට යෙදවීම’ පිළිබඳ සාකච්ඡාව හරහා, වැඩි අවධානයක් නොලබන ප්‍රජා කොටස්, කාන්තාවන් සහ තරුණයින් සඳහා නොවෙනස් ව සැලකීම වෙනුවෙන් බැංකු කටයුතු තුළදී අන්තර්ගතකරණයේ කාර්යභාරය ඉස්මතු කරමින්, දේශගුණික මුල්‍යකරණය පිළිබඳ බලගතු දැක්මක් ඉදිරිපත් විය. අනෙකුත් සාකච්ඡා මගින් දේශගුණික අනුවර්තනය සහ පාරිසරික හායනය ආමන්ත්‍රණය කිරීමේදී විද්‍යාව, ප්‍රතිපත්ති සහ බිම් මට්ටමේ ක්‍රියාකාරීත්වය යන අංශවල සාමූහික සහභාගීත්වයේ වැදගත්කම පෙන්වා දෙන ලදී.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් බැංකුව මෑතකදී විවෘත කළ අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ  ForwardTogether 2025 සමුළුවේ ආරම්භක සැසියේ කැපී පෙනෙන අවස්ථා

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *