
2030 වන විට ශ්‍රී ලංකාවට ඩිජිටල් අපනයනවලින් / digital exports පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 5ක ආදායමක් උපයා ගත හැකි බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පවසයි.
ඊයේ (5) පැවති ශ්‍රී ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුවේ / Sri Lanka Digital Public Infrastructure Summit සමාරම්භක උත්සවයේදී ඔහු මෙම අදහස් පළ කළේය.
“ඩොලර් බිලියන 80-90ක් පමණ වන ගෝලීය ආර්ථිකයක මෙය වර්ධනයේ සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරයි.” ඔහු පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකාවේ මූලික දළ දේශීය නිෂ්පාදිත වර්ධනය වන 2-3% ට අමතරව, ඩිජිටල්කරණය සම්පූර්ණයෙන්ම වැළඳ ගැනීමෙන් වාර්ෂිකව එහි සංයුක්ත වාර්ෂික වර්ධන වේගයේ (compound annual growth rate – CAGR) අතිරේක 1-2% ක වැඩිවීමක් දැකිය හැකි බවත්, ඩිජිටල් අපනයන ඉහත සඳහන් මට්ටම් කරා ළඟා වුවහොත්, දළ දේශීය නිෂ්පාදිතයේ මෙම 1-2% ක වැඩිවීම දෙගුණ විය හැකි බවත් ආචාර්ය විජේසූරිය සඳහන් කළේය.
“ඩිජිටල්කරණය ආර්ථිකයට ගැඹුරට විනිවිද යන විට, වර්ධන නැග්ම CAGR ලකුණු එකක සිට දෙක දක්වා පරාසයක පැවතිය හැකියි. සාමාන්‍ය පරිදි 3-4%ක ව්‍යාපාර වර්ධන වේගයක් ඇති ආර්ථිකයක් හෝ පහළ පදනමකින් ආරම්භ වුව ද, ඩිජිටල්කරණය හරහා දළ දේශීය නිෂ්පාදිතයේ අමතර ලකුණු දෙකේ සිට තුන දක්වා වර්ධනයක් අත්කර ගැනීමට අපේක්ෂා කළ හැකියි” ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.
එපමණක් නොව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ශ්‍රම බලකාය වත්මන් ඉලක්කය වන 200,000 ඉක්මවා පුළුල් කිරීමේ වැදගත්කම හාන්ස් විජයසූරිය අවධාරණය කළේය.
“ඩිජිටල් ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතයෙන් 12% ක් පමණ දක්වා වර්ධනය කිරීම සාක්ෂාත් කරගත හැකි නමුත්, මෙහි සිටින සෑම කෙනෙකුටම ඉහළ ඉලක්ක (20% ට ආසන්න) ලබා ගැනීමට මම අභියෝග කරනවා” විජයසූරිය පැවසීය.
ඩිජිටල් ශ්‍රම බලකාය 20% දක්වා වැඩි කිරීමෙන් වාර්ෂික ඩිජිටල් අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 15ක් උපයා ගත හැකි බව ඔහු සඳහන් කළේය.
ඩිජිටල් ආකාරයෙන් ව්‍යාපාර කිරීමේ දී පිරිවැය අවම කිරීමේ අවශ්‍යතාවය ද විජයසූරිය මහතා අවධාරණය කළේය.
“අපි නිරපේක්ෂ ඉලක්ක වෙත නතර වෙන්නේ නැහැ, මොකද ඩිජිටල් ක්ෂේත්‍රය තුළ අපි ගෝලීය වශයෙන් සහ කලාපීය වශයෙන් තරඟ කරනවා. ඩිජිටල් විවෘතයි, ඒ වගේම අපට දූපතක් වීමේ ශක්තිය මත විශ්වාසය තැබිය නොහැකියි. අපි විවෘත වූ පසු ජාතික තරඟකාරිත්වය (සහ අපගේ ඩිජිටල් පද්ධතිවල පරිණතභාවය සහ සූදානම සමඟ එහි සහසම්බන්ධය) පෙරමුණට පැමිණෙවි” හාන්ස් විජයසූරිය පෙන්වා දුන්නේ ය.
මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, ඩිජිටල් ආර්ථික පරිණතභාවය අනුව ගෝලීය වශයෙන් දෙවන සහ තුන්වන කාර්තුවලට පිවිසීම ශ්‍රී ලංකාව අරමුණු කරයි.
“සම්බන්ධතාවය, ඩිජිටල් පරිවර්තනය, නවෝත්පාදනය සහ සයිබර් ආරක්ෂාව වැනි ප්‍රධාන මානයන් හරහා අපගේ ස්ථානය වැඩිදියුණු කිරීම කෙරෙහි අපි අවධානය යොමු කරනවා” ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය වැඩි දුරටත් පැවසීය.