රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය සහ ප්‍රතිපත්තිමය ප්‍රගතිය පිළිබඳ විමර්ශන වාර්තාව CoPFහි දී විමසා බැලේ

Spread the love

2025 වසරේ  සහ 2026 වසරේ පළමු කාර්තුවේ  ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය, රාජ්‍ය ආදායම් රැස් කිරීම, රාජ්‍ය වියදම් කළමනාකරණය, රාජ්‍ය ණය තත්ත්වය සහ ප්‍රතිපත්තිමය ප්‍රගතිය පිළිබඳ විමර්ශන වාර්තාව  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී  විමසා බලන ලදී. 

මෙම කාරක සභාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, අර්කම් ඉල්යාස්,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, තිළිණ සමරකෝන්, නිමල් පලිහේන, එම්.කේ.එම්. අස්ලම්, අජිත් අගලකඩ, චම්පික හෙට්ටිආරච්චි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර  සහ  මාර්ගගත තාක්ෂණය ඔස්සේ විජේසිරි බස්නායක යන  මහත්ම මහත්මීහු   සහභාගි වූහ.

මෙහිදී 2025 වර්ෂයේ රාජ්‍ය ආදායම් රැස් කිරීම ඇස්තමේන්තුගත ඉලක්ක ඉක්මවා වාර්තාගත ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව අනාවරණය වූ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක සාර්ථකව සපුරා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ. එමෙන්ම 2026 වර්ෂයේ පළමු කාර්තුවේදී ද ආදායම් රැස් කිරීම අපේක්ෂිත මට්ටම ඉක්මවා ඇති බව  එම නිලධාරීහු  සඳහන් කළහ.

රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී වැටුප් හා දීමනා, විශ්‍රාම වැටුප් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, විශේෂයෙන් විශ්‍රාම වැටුප් පද්ධතියේ දිගුකාලීන මූල්‍ය තිරසරභාවය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය අවධානයක් යොමු කළ යුතු බවත් කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. එසේම ප්‍රාග්ධන වියදම් යටතේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා සැලකිය යුතු මුදලක් වැය කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.

තවද රාජ්‍ය ණය කළමනාකරණය, ණය සේවාකරණය, මුදල් රක්ෂිත පවත්වාගෙන යාම සහ පොලී අනුපාතවල බලපෑම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ  සුරාබදු ඩිජිටල් ස්ටිකර් ව්‍යාපෘතියේ පිරිවැය හා එහි විනිවිදභාවය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර, ඉදිරි ටෙන්ඩර් ක්‍රියාවලීන් වඩාත් විනිවිදභාවයෙන් හා පිරිවැය කාර්යක්ෂමතාවය සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින්  පෙන්වා දෙන ලදී.

දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ 2025-2026 කාල සීමාව තුළ ප්‍රගතියද සාකච්ඡා කෙරිණි. මෙහිදී  RAMIS පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීම, බදු ගෙවන්නන් සඳහා පහසු වෙබ් අඩවියක් සහ ජංගම යෙදුමක් හඳුන්වා දීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා රේගුව සමග පැවති සාකච්ඡාවේදී, රථවාහන සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී දේශ සීමා නීතිරීති උල්ලංඝනය වීම (Cross-border LC violation) නිසා මුදා හැරීමෙන් තොරව තවමත් වරායේ වාහන නවතා ඇති බව හෙළි විය. එබැවින්, ප්‍රමාද ගාස්තු අය කර හෝ සුදුසු පිළියමක් සාකච්ඡා කොට වාහන කඩිනමින් වරාය අංගනයෙන් නිදහස් කළ යුතු බව කාරක සභාව විසින් අවධාරණය  කරන ලදී.

වාහන සඳහා පනවා ඇති අධික බදු පිළිබඳ කාරක සභා සාමාජිකයන් සාකච්ඡා කළහ. Electric සහ Hybrid වාහන සඳහා ඒවායේ මිල මත පදනම්ව බදු පැනවීමෙන් (අඩු මිල රථ සඳහා අඩු බදු) රථවාහන මිල සැලකිය යුතු ලෙස වෙනස් වන බවට ද මෙහිදී අදහස් ඉදිරිපත් විය. මේ වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව, බදු ප්‍රතිපත්ති සඳහා සැලකිල්ලට ගත හැකි බව සාකච්ඡා විය.

මෙහිදී රාජ්‍ය ආදායම් වර්ධනය යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කළද, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය සහ පුනරාවර්තන වියදම් පාලනය කිරීම සඳහා දිගුකාලීන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. එමෙන්ම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ ඩිජිටල්කරණය තවදුරටත් ශක්තිමත් කිරීම රටේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *