කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ

කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින්නේ කලාපීය හා ගෝලීය වටිනාකම් දාමයන් (Regional and Global Value Chains) සමඟ වඩාත් ගැඹුරින් ඒකාබද්ධ වීම මත බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවට තිරසාර අපනයන වර්ධනයක් අත්කර ගැනීමට මෙන්ම විශාල පරිමාණයේ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නම් දේශීය වෙළෙඳපොළ මත පමණක් රඳා සිටීම ප්‍රමාණවත් නොවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
“ශ්‍රී ලංකාව, RCEP සහ නැගී එන ගෝලීය වෙළෙඳ රටාව” (Sri Lanka, RCEP and the Emerging Global Trading Order) යන මැයෙන් Pathfinder Foundation සංවිධානය කළ වටමේස සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.
කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය හෙවත් RCEP ගිවිසුම ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, චීනය සහ ආසියාන් සාමාජික රටවල් ඇතුළු ආර්ථිකයන් 15ක් සම්බන්ධ කරන අතර, එය ලෝක වෙළෙඳාමේ ආසන්න වශයෙන් 30%ක් නියෝජනය කරයි.
එවැනි දැවැන්ත වෙළෙඳපොළකට ප්‍රවේශය ලැබීමෙන් ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට, විශේෂයෙන්ම ජාතික අපනයනවලින් දැනට සියයට 10ක් පමණක් දායක වන අපගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට (SMEs), නව අවස්ථා රැසක් විවෘත වනු ඇත.
කෙසේ වෙතත්, නවීන ගෝලීය වෙළෙඳ පද්ධතියට සම්පූර්ණයෙන්ම එක්වීමට අවශ්‍ය බොහෝ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව අවම වශයෙන් දශකයක පමණ ප්‍රමාදයක සිටී.
මෙම අභියෝගය හඳුනාගෙන, රජය මේ වන විට පහත සඳහන් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කිහිපයක් ඉදිරියට ගෙන යමින් සිටී.
- තරඟකාරීත්වය ඉහළ නැංවීමට සහ වෙළෙඳ බාධක ඉවත් කිරීමට නව තීරුබදු ප්‍රතිපත්තියක්.
- විනිවිදභාවයෙන් යුතු සහ පුරෝකථනය කළ හැකි ආයෝජන නිර්ණායක.
- ව්‍යාපාර කිරීමේ පහසුව (Ease of Doing Business) වැඩිදියුණු කිරීම සඳහා ආයෝජන පහසුකම් සැලසීමේ ප්‍රතිසංස්කරණ.
- රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) පනත සහ රාජ්‍ය ව්‍යවසාය (SOE) ප්‍රතිසංස්කරණ ඇතුළු නව නීතිමය රාමුවක් හරහා ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීම.
- ආයෝජන ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ වෙන්චර් ප්‍රාග්ධන (Venture Capital) හා ඒන්ජල් ආයෝජන අරමුදල් (Angel Investment Funds) වැනි නව ප්‍රාග්ධන මූලාශ්‍ර සක්‍රීය කිරීම.
වෙළෙඳ ගිවිසුම් යනු අපනයන පිළිබඳ පමණක් නොවේ. ඒවා ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිළිබඳවද වේ. ආයෝජකයින් සොයන්නේ විශාල කලාපීය වෙළෙඳපොළවලට ප්‍රවේශය සලසන ස්ථානයි.
නැගෙනහිර ආසියාව, ඉන්දියාව, මැද පෙරදිග සහ අප්‍රිකාව සමඟ ඇති සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමෙන්, ශ්‍රී ලංකාව වෙළෙඳාම, නිෂ්පාදන සහ සේවා සඳහා තරඟකාරී කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කළ හැකිය.
අපගේ වර්තමාන අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක් පමණ වන අතර, වසර ගණනාවක් පුරා එය වර්ධනය වී ඇත්තේ මන්දගාමී අයුරිනි.
ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් හරහා වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමත්, දේශීය ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමත්, අපගේ දිගුකාලීන ආර්ථික ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එක්ව මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලාංකික ව්‍යාපාර සහ ව්‍යවසායකයන් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටී.
ආර්ථික පරිවර්තනය කරා යන ගමන සඳහා විවෘතභාවය, තරඟකාරීත්වය සහ ශක්තිමත් ගෝලීය හවුල්කාරිත්වයන් අත්‍යවශ්‍ය වේ. RCEP යනු එම දිශාවට ශ්‍රී ලංකාවට ලැබෙන ඉතා වැදගත් අවස්ථාවකි.
