දිට්වා සුළි කුණාටුවෙන් ආර්ථිකයට දිගු කාලීන බලපෑමක් නැහැ – ශ්‍රී ලංකා මහ බැංකු අධිපති

Spread the love

දිට්වා සුළි කුණාටුව ආර්ථිකයට දිගුකාලීන බලපෑම් ඇති නොකරනු ඇති බවත්  අර්බුදකාරී තත්ත්වය කෙටි කාලීනව විසඳා ගත හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

විදේශ සංචිත සහ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් තැනක පවතින අතර සහන අරමුදල් සඳහා ප්‍රමාණවත් අරමුදල් වෙන් කර ඇති හෙයින් සුළි කුණාටුවේ බලපෑම ආර්ථික කටයුතුවලට කිසිදු ආකාරයකින් බලපාන්නේ නැතැයි මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

පළමු මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය සම්බන්ධයෙන් ඊයේ (28) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඉහත ප්‍රකාශ කළේය. ජාතික හා ගෝලීය අවිනිශ්චිතතාවයන්ගේ ප්‍රවණතාවය මත පදනම්ව ප්‍රතිපත්ති පොළී අනුපාතය සියයට 7.75 ක මට්ටමක පවත්වා ගැනීමට තීරණය කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය

“වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය උද්ධමනය සියයට 5 ඉලක්කය කරා ගමන් කිරීමට හිතකර තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. වෙළඳ හිඟයේ ප්‍රවණතාවය මධ්‍යයේ 2025 දී බාහිර ජංගම ගිණුම සැලකිය යුතු අතිරික්තයක් වාර්තා කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. පසුගිය වසරේ විදේශ ප්‍රේෂණ සෞඛ්‍ය සම්පන්න වූ අතර 2026 වසර තුළ දැවැන්ත ණය සේවා ගෙවීම් මධ්‍යයේ, 2025 අවසන් වන විට මුළු නිල සංචිත බිලියන 6.8 දක්වා ඉහළ නැංවීමට අවස්ථාව ලැබුණා.

  • පශ්චාත් දිට්වා ආර්ථික තත්ත්වය

2025 මුල් මාස නවය තුළ රටේ ආර්ථිකය සියයට 5.0 කින් වර්ධනය විය. දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ව්‍යසන හේතුවෙන් ආර්ථික වර්ධනය මධ්‍යස්ථ වුව ද, එය කිසිදු ඍණාත්මක බලපෑමක් ඇති කළේ නැති බව ද මහ බැංකු අධිපතිවරයා පැවසුවේය.

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ව්‍යසනයන් ආර්ථිකයට දිගු කාලීන බලපෑමක් ඇති නොකරනු ඇති අතර අර්බුදකාරී තත්ත්වය කෙටි කාලීනව නිවැරදි කළ හැකිය. විදේශ සංචිත සහ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් තලයක පවතී. ආර්ථික අර්බුදය අතරතුර, භාණ්ඩාගාරයේ රුපියලක් හෝ ඩොලරයක් නොතිබුණි. ඒ නිසා සමාජ යටිතල පහසුකම්වල සේවා සැපයීමට බලපෑම් ඇති විය. වර්තමානයේ එසේ නොවේ. අභියෝග හමුවේ ආර්ථික තත්ත්වය ස්ථාවර තත්ත්වයක පවතී.

  • වැවිලි ආයෝජන වංචාව

මෑතකදී, වැවිලි අංශයේ ආයෝජනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ දැන්වීම් පළ කර ඇති බව නිරීක්ෂණය වී තිබේ. ශ්‍රී ලංකාවේ වැවිලි ආයෝජන සම්බන්ධයෙන් කිසිදු අධීක්ෂණයක් සහ නියාමනයක් නොමැත.

වැවිලි අංශයේ ආයෝජන මුවාවෙන් නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වී තිබේ. එවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් පුද්ගලයින් 18 දෙනෙකුට සහ සමාගම් කිහිපයකට එරෙහිව පරීක්ෂණ පවත්වා ඇත.

වතු ආයෝජනයෙන් ඉහළ ලාභ ලැබිය හැකි බවට සඳහන් කරන වෙළඳ දැන්වීම් සම්බන්ධයෙන් මහජනතාව ප්‍රවේශම් විය යුතු බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

  • රුපියල් 2000 මුදල් නෝට්ටු සංසරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් රුපියල් 2000 නෝට්ටුව සංසරණයට නිකුත් කරන ලදී. මෙම රුපියල් 2000 නෝට්ටුවට සමාන ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ පවතින බවට වාර්තා කිහිපයක් ඇති බවත් ජනතාව අතර බියක් ඇති බවත් නිරීක්ෂණය කළ හැකිය.

නව මුදල් නෝට්ටුවක් මුදල් සැපයුමට හඳුන්වා දුන් විට එවැනි ගැටලු ඇතිවීම සාමාන්‍ය දෙයකි. රුපියල් 2000 නෝට්ටුවේ බොහෝ රහස් ලක්ෂණ අඩංගු වේ. ව්‍යාජ රුපියල් 2000 නෝට්ටු සංසරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව ද මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *