ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැන අදහස් විමසයි

Spread the love

ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සම්බන්ධයෙන්  ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ප්‍රජා මුල්‍ය සමිති නියෝජිතයින්ගෙන් අදහස් විමසන ලදී.

ඒ ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතිත්වයෙන් 2026.01.07වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රජා මූල්‍ය සමිති නියෝජිතයින් ප්‍රජා මූල්‍ය සමිති මගින් සිදුවන කාර්යභාරය පැහැදිලි කරමින් එය ක්ෂුද්‍ර මූල්‍ය හා ණය ලබාදෙන ආයතනවලින් වෙනස්වන ආකාරය පිළිබඳව කාරක සභාවට කරුණු ඉදිරිපත් කරන ලදී. එහිදී එම නියෝජිතයින් විසින් ප්‍රජා මූල්‍ය සමිති මගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් ඇතුළු පිරිස් නගාසිටුවීම උදෙසා සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන බව පෙන්වා දුන්හ.

ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත මගින් ක්ෂුද්‍ර මූල්‍ය හා ණය ලබාදෙන සියලු ආයතන අධිකාරියක් යටතට  පත් කිරීම ඔස්සේ ප්‍රජා මූල්‍ය සමිති මගින් සිදු කරනු ලබන කාර්යභාරයට බලපෑම් ඇතිවිය හැකි බව කරුණු දක්වමින් එම නියෝජිතයින් පැවසූහ.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරිය, සකස් කර ඇති පනත් කෙටුම්පත තුළ ප්‍රජා මූල්‍ය ආයතන පිළිබඳව වෙනම අර්ථ නිරූපණයක් සිදු කර නොමැති බැවින් අධිකාරියක් මගින් පොදු නිර්ණායක ඔස්සේ එම ප්‍රජා මූල්‍ය ආයතන ද නියාමනයට ලක්කිරීම මගින් එම ආයතනවල මූලික අරමුණුවලට බාධා ඇතිවිය හැකි බව පෙන්වා දුන්නාය.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රජා මූල්‍ය සමිති නියෝජිතයින් ඔවුන්ගේ සමිතිද නියාමනයකට යටත් කිරීමේ දැඩි අවශ්‍යතාවය ඉල්ලා සිටි අතර ඔවුන්ගේ මූලික අරමුණුවලට බාධාවක් නොවන අයුරින් පනත් කෙටුම්පත සංශෝධනය කිරීමේ වැදගත්කම යෝජනා කළහ.

කාරක සභා සභාපතිවරිය විසින් මේ කරුණු සලකා බැලීමෙන් පසු ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත තුළ “ප්‍රජා මූල්‍ය ආයතන” යන්න නිසි ආකාරයෙන් නිර්වචනය කර ඔවුන්ගේ මූලික අරමුණුවලට හානියක් නොවන අයුරින් පනත් කෙටුම්පත සංශෝධනය  කිරීමට යෝජනා කළාය.

ඒ අනුව සංශෝධනයන්ට යටත්ව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සඳහා කාරක සභාවේ අනුමතිය  හිමිවූ අතර මෙම පනත් කෙටුම්පතෙහි රජයේ මුදල් පිළිබඳ  කාරක සභාවේ විෂයට පථයට අදාළ  කරුණු පවතින  බැවින් එම කාරක සභාවේ සලකාබැලීම  සඳහා  යොමු කිරීමට ද කාරක සභාව තීරණය කරන  ලදී.

මේ අවස්ථාව සඳහා කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, තිළිණ සමරකෝන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *