ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 – සම්පූර්ණ ලැයිස්තුව මෙන්න !

Spread the love

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර මේ දක්වා සම්මාන උළෙල 26ක් සංවිධානය කොට ඇත. 27වන ජනාධිපති අපනයන සම්මාන උළෙල සඳහා ගරු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, අපනයනකරුවන් ඇතුළු ආරාධිතයින් 1500 ක් පමණ සහභාගී වූහ.

2024/2025 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත්වෙන මෙම උළෙලේදී සමස්ත සම්මාන 15ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 92ක් ඇතුළු සම්මාන 107ක් පිරිනමනු ලදි. තවද, අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මෙන්ම ජාතික ආර්ථිකයට අදාළ අංශවල අපනයන දායකත්වය සැලකිල්ලට ගනිමින් විනිසුරු මඬුල්ල විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා කුසලතා සම්මාන පිරිනැමීම ද සිදු කෙරිණි. ආංශික සම්මාන තෝරා ගැනීම අපනයන ආදායම මත පමණක් නොව තවත් නිර්ණායක කිහිපයක් මත පදනම් වූ අතර අපනයන වෙළඳපොල විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, අපනයන ආදායමෙහි වර්ධනය, අපනයන ආදායම් ආපසු රටතුළට ගෙන්වා ගැනීම, පාරිසරික තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම, අගය එකතු කිරීම වැනි දෑ සැලකිල්ලට භාජනය විය.

මෙම කීර්තිමත් සම්මානය සඳහා අපනයන ප්‍රජාවගේ උද්යෝගය පෙන්නුම් කරමින් අයදුම්පත් විශාල සංඛ්යාවක් අපනයන සංවර්ධන මණ්ඩලය වෙත මෙවර ලැබී තිබිණි. අයදුම්පත් වල මූලික ඇගයීම තාක්ෂණික කමිටුව විසින් සිදු කරන ලද අතර සම්මානලාභින් තෝරා ගැනීම සිදුකරනු ලැබූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසිනි. Ernst & Young (EY) 27 වන ජනාධිපති අපනයන සම්මාන උළෙළ සඳහා “දැනුම සහකරු” ලෙස කටයුතු කරන ලදි.

නව රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ශ්‍රී ලංකාවේ අපනයන පුළුල් කිරීම සඳහා නව උපාය මාර්ග ක්‍රියාත්මක කර ඇති අතර එමගින් ශ්‍රී ලංකාවේ අපනයන සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, වෙළඳපොල විවිධාංගීකරණය, නිෂ්පාදන විවිධාංගීකරණය, නවෝත්පාදන, අගය එකතු කිරීම, දේශීය සන්නාම ලෝකයට හඳුන්වා දීම, අපනයනවල තිරසාර බව, කලාපීය අගය දාමයන්හි සංවර්ධනය යනාදී ක්ෂේත්‍රයන්හි අපනයනකරුවන් විසින් ගෙන ඇති මුලපිරීම් රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා වැදගත් ලෙස සැලකේ.

ජනාධිපති අපනයන සම්මාන උළෙළ මගින් ජයග්‍රහකයින්ට සම්මානයක්/ සමරු ඵලකයක් සහ සහතිකයක් පිරිනමන අතර ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 3 ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිතා කිරීමේ හැකියාව සම්මාන ලාභීන්ට හිමිවේ.

27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මගපෙන්වීම යටතේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා සහ අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ අපනයනය ප්‍රවර්ධනය දිරිමත් කිරීම සඳහා පැවැත්වෙන 27 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල සඳහා මෙවර මහජන බැංකුව (People’s Bank) ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ද ශ්‍රී ලංකා තේ මණ්ඩලය (SLTB) සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව (SLECIC) රිදී අනුග්‍රහකයින් ලෙස ද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ අත්වැල් බැඳගෙන ඇත.

2024/2025 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත්වූ මෙම උළෙලේදී සමස්ත සම්මාන 15 ක් පිරිනමන ලදි.

  1. වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරු – සේවා අංශය – Lanka Hydraulic Institute Limited
  2. වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරු – නිෂ්පාදන අංශය – Hero Nature Products (Pvt) Ltd
  3.   වසරේ නැගී එන අපනයනකරු – Bughary Bio Spices (Private) Limited
  4. වසරේ කාන්තා අපනයනකරු – Senikma Holdings (Pvt) Ltd
  5. නැගී එන වෙළඳපොළවල හොඳම කාර්ය සාධනයක් දක්වන අපනයනකරු – Lanka Marine Services (Private) Limited
  6. ප්‍රාදේශීය වශයෙන් අපනයන සැපයුම් දාමයට දායකත්වය – Omega Line Limited
  7. වසරේ නව්‍ය අපනයන සේවාව – Sysco Labs Technologies (Private) Limited
  8. වසරේ නව්‍ය අපනයන නිෂ්පාදනය – Ultracarb (Private) Limited
  9. අපනයනවල තිරසාර සංවර්ධනයට දායකත්වය – Dilmah Ceylon Tea Company PLC
  10. වසරේ හොඳම අගය එකතු කළ අපනයනකරු – H S B C Electronic Data Processing Lanka (Private) Limited
  11. නිෂ්පාදන විවිධාංගීකරණයේ හොඳම අපනයනකරු – Omega Line Limited
  12. වසරේ වෙළඳපොළ විවිධාංගීකරණය කළ අපනයනකරු – Dilmah Ceylon Tea Company PLC
  13.   වසරේ ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ ශ්‍රී ලාංකික සන්නාමය – Akbar Brothers (Private) Limited
  14.   වසරේ ශුද්ධ විදේශ විනිමය උපයන්නා – Akbar Brothers (Private) Limited
  15.   වසරේ අපනයනකරු – Omega Line Limited

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *