
කෙටිකාලීන ද්‍රවශීලතා උපකරණයක් ලෙස, දැනට පවතින නෛතික රාමුව තුළ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් දේශීය ඩොලර් බැදුම්කර නිකුත් කිරීමට අදාළ කටයුතු ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය පසුගිය සතියේ දී ලැබී තිබුණි.
මේ සම්බන්ධයෙන් රජය පවසන්නේ, මේ වන විට රට තුළට ප්‍රමාණවත් විදේශ විනිමය ලැබෙමින් පවතින බැවින් සහ ඒ අනුව දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළ ද්‍රවශීලතාව ශක්තිමත් වී ඇති බැවින්, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ඉලක්ක කර ගනිමින් එම බැංකු වෙත විදේශ ව්‍යවහාර මුදල්වලින් ආයෝජන සඳහා අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකාව විසින් විදේශ ව්‍යවහාර මුදල්වලින් නාමනය කරන ලද දේශීය ණය උපකරණ නිකුත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවයි.
මෙලෙස වානිජ බැංකු සතු විදේශ වත්කම්වලින්, ඩොලර් ණය ලබා ගැනීමට රජය විසින් කටයුතු කරන පසුබිම තුළ, මේ වන විට මෙරට වානිජ බැංකුවල ඩොලර් අතිරික්තයක් පවතින්නේ දැයි අද දෙරණ කළ විමසීමක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මේ වන විට මෙරට බැංකුවල ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම රජයේ මෙම මුලපිරීම පෙර පැවති සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම හා සමාන කටයුත්තක් බවත්, එහිද රජයට ණය ලබා ගැනීමේ මූලාශ්‍ර විවිධාංගීකරණය කරමින් දේශීය වශයෙන් විදේශ විනිමය ණය ගැනීමට අවස්ථාව ලැබෙන බවත් සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,
“බැංකුවල දත්ත බැලුවාම පේනවා, වානිජ බැංකුවල ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා පහුගිය කාලය තුළ දළ වශයෙන්. ඒකට හේතුව විදේශ විනිමයෙන් බැංකු සතු තැන්පතු පදනම වැඩිවෙලා, එයින් ඔවුුන් ආයෝජනය කරනවා විදේශ විනිමයෙන්ම, ඒක වැඩිවෙලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය කැබිනට් අනුමැතිය තියෙන්නේ ඒ මුදල්වලින් කොටසක්. කලින් තිබුණු සංවර්ධන බැඳුම්කර කියලා, විදේශ විනිමයෙන් නාමකරණය කරන ලද උපකරණයක් නිකුත් කළාම, බැංකුවලට පුළුවන් තමන්ගේ වත්කම්වලින් කොටසක් විදේශ විනිමය උපකරණයක ආයෝජනය කරන්න SLDB (ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර) වගේ. ඒක තමයි ඊළග පියවර විදියට අනුමත කරලා තියෙන්නේ. රජයට විදේශ විනිමයෙන් ණය ලබා ගැනීම, ණය ලබාගැනීම විවිධාංගීකරණය කිරීම, රුපියල්වලින් ගන්නවාට අමතරව විදේශ විනිමයෙන් දේශීය මූලාශ්‍රවලින්, දේශීය බැංකුවලින් ණය ලබා ගන්න තියෙන එක උපකරණයක්. මීට කලිනුත් මෙය භාවිතා කරලා තියෙනවා. නැවත එය යොදා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා.“
මූලාශ්‍රය – adaderana.lk
