
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) සහ අපනයන වෙළඳාම සදහා කෘතිම බුද්ධිය (AI) යොදාගැනීම සහ එහි බලපෑම් පිළිබඳව වැඩමුළුවක් පසුගියදා යාපනයේදී සාර්ථකව සංවිධානය කෙරිණි.
අපනයන සංවර්ධන මණ්ඩලය උතුරු පළාත් කාර්යාලයේ සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට දිස්ත්‍රික්කය පුරා සිටි සංවර්ධන නිලධාරීන් සහ අපනයනකරුවන් ඇතුළු සහභාගිවන්නන් 80 දෙනෙකු පමණ සහභාගී වූහ.
Blue Chip Asia හි ප්‍රධාන විධායක නිලධාරී උදිත බණ්ඩාර මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම සැසිය AI ක්‍රියාත්මක කිරීම හරහා අපනයන ව්‍යාපාර වේගවත් කිරීමට සහ පරිවර්තනය කිරීමට ඇති ප්‍රායෝගික හැකියාවන් පිළිබදව කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැනුවත් කරන ලදි.
තම ව්‍යාපාරික කටයුතු වැඩිදියුණු කිරීම සඳහා AI මෙවලම් උපයෝගී කර ගැනීම පිළිබඳව අපනයනකරුවන් දැනුවත් කිරීම සහ අපනයන අංශයේ AI විසඳුම්වල උපායමාර්ගික වැදගත්කම අවබෝධ කර ගැනීම මෙම වැඩමුළුවේ අරමුණ විය. කාලය ගත වන ක්‍රියාවලීන් ස්වයංක්‍රීය කිරීමෙන් AI තාක්ෂණයන් මගින් ආයතනවලට මෙහෙයුම් පිරිවැය අඩු කර ගත හැකි ආකාරය සහභාගිවන්නන් ඉගෙන ගත් අතර එමගින් උපායමාර්ගික ව්‍යාපාරික අරමුණු කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියාව ලැබෙනු ඇත.
අන්තර්ක්‍රියාකාරී සැසිය මගින් සහභාගිවන්නන්ට විවිධ AI තාක්ෂණික අත්හදා බැලීම් සිදුකිරීමට හැකියාව ලබා දුන් අතර ඔවුන්ගේ වෘත්තීය සංවර්ධන කුසලතා වැඩි දියුණු කිරීමට ප්‍රායෝගික අත්දැකීම් ලබා දුන්නේය.
මෙම මුලපිරීම සියලුම පළාත්වල අපනයනකරුවන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් දරන අඛණ්ඩ උත්සාහයන්හි කොටසක් වන අතර අපනයන වර්ධනය සඳහා නවීන තාක්ෂණයන් උපයෝගී කර ගැනීමට උතුරු පළාතේ ව්‍යාපාර සවිබල ගැන්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි.
