
2025 වසරේ තෙවන කාර්තුවේ දී මෙරට අවධමන තත්ත්වය අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, අනතුරුව උද්ධමනය ක්රමයෙන් ඉහළ ගොස් 2026 වසරේ මැද භාගයේ දී 5%ක ඉලක්කගත මට්ටමට ළඟා වනු ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව පුරෝකතනය කර ඇත්තේ මැදි කාලීනව, උද්ධමන ගමන් මගෙහි තාවකාලික ඉහළ යෑම් ඇති වුවත්, උද්ධමනය 5% ඉලක්කය ආසන්නයේ ස්ථාවර වනු ඇති බවටයි.
වර්තමානයේ පහළ ධන අගයක පවත්නා මූලික උද්ධමනය, ක්රමයෙන් ඉහළ ගොස් මැදි කාලීනව ස්ථාවර වනු ඇතැයි අපේක්ෂිත නමුත් උද්ධමනය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ යෑම හෝ පහළ යෑම සඳහා බලපෑ හැකි අවදානම් පවතී.
කෙසේ වෙතත්, ඉදිරි කාලයේ දී උද්ධමන පුරෝකථන සාක්ෂාත් වීම සම්බන්ධයෙන් අවදානම් තක්සේරුව වඩාත් තුලිත ඉදිරි දැක්මක් ශ්රී ලංකා මහ බැංකුව විසින් සපයයි.
මේ අතර 2024 වසරේ සැප්තැම්බර් මස සිට උද්ධමනය ඍණ අගයක පැවතුණි. මෙම අවධමන තත්ත්වය සඳහා බලශක්ති සහ ප්රවාහන සම්බන්ධ මිල අඩු කිරීම් මෙන්ම පෙර වසරවලට සාපේක්ෂව ආහාර මිල ගණන් අඩු වීම ද සැලකිය යුතු ලෙස දායක වී ඇත.
කෙසේ වෙතත්, ප්රධාන වශයෙන්ම ආහාර උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් 2025 වසරේ මාර්තු මස සිට අවධමන තත්ත්වය ලිහිල් වෙමින් පවතින අතර, වසර තුළ බලශක්ති මිල ගණන් ඉහළ නංවමින් සිදු කළ සංශෝධනයන්ද මෙයට දායක වී ඇත.
ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ දැනට පවතින කෙටි කාලීන අවධමන කාලපරිච්ඡේදය නිෂ්පාදකයන්ගේ හැසිරීමට හෝ සමස්ත ආර්ථික ක්රියාකාරකම්වලට අහිතකර බලපෑමක් සිදු කර නොමැති අතර, එය ගෘහ ඒකකවල ජීවන වියදම් බර යම්තාක් දුරකට ලිහිල් කිරීමට දායක වී ඇති බවයි
