
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ අපනයන වෙනුවෙන් පනවන ලද 44% ක තීරු බදු නීතිය ක්‍රියාවට නැංවූවා නම්, ශ්‍රී ලංකාවට සංශෝධිත IMF වැඩසටහනක් සඳහා යායුතු තත්ත්වයක් උද්ගතවීමට ඉඩ තිබුණු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
අද (12) පෙරවරුවේ සිංගප්පූරුවේ දී පැවති Invest Sri Lanka ආයෝජක සමුළුවට එක්වෙමින් අධිපතිවරයා මේ බව පැවසීය.
“මම හිතන්නේ ඇමරිකානු තීරු බදු පැනවූ විට, එය පැහැදිලිවම බාහිර කම්පනයක්. එය ශ්‍රී ලංකාවට පමණක් පොදු නොවන කරුණක් බව අපි කවුරුත් තේරුම් ගන්න අවශ්‍යයි. පසුගිය කාලයේ දී මුහුණ දුන් වසංගත තත්ත්වයත් එවැනිම බාහිර කම්පනයක්. මෙයත් ඒ වගේ අනපේක්ෂිත බාහිර කම්පනයක්. ඒ කම්පනයට මුහුණ දීමට රට සූදානම් කරන්නේ කෙසේද යන්න වැදගත් එකක්. දැන්, මම කලින් කිව්වා වගේ, බාහිර කම්පන ඕනෑම වේලාවක, අනපේක්ෂිත ලෙස පැමිණිය හැකියි. වැදගත් වන්නේ එවැනි අවස්ථාවක මුහුණ දීමට සහ ආර්ථිකයට සහාය වීමට අවශ්‍ය ස්වාරක්ෂක සකස් කර තිබීමයි.“
“එක්සත් ජනපද තීරු බදු සම්බන්ධ සාකච්ඡාවල දී මමත් ඒ කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියා. මුලින් කියූ පරිදි 44%ක තීරු බදු ශ්‍රී ලංකාවට පැනවූවා නම් අපිට ඒ වෙලාවේ සංශෝධිත IMF වැඩසටහනක් සඳහා යා යුතු තත්ත්වයක් තිබුණේ. කෙසේවෙතත් දැනට අපට තිබෙන 20% ක තීරු බදු මට්ටම වඩාත් සුවපහසු එකක්. මේ වාතාවරණය තුළ අපි වෙළෙඳ විවිධාංගීකරණයක් කරා යොමු විය යුතුයි“, යනුවෙන් මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව එක්ව සංවිධානය කරන ලද ‘Invest Sri Lanka’ ආයෝජක සමුළුව අද (12) පෙරවරුවේ සිංගප්පූරුවේ දී පැවැත්විණි. ගෝලීය ආයෝජකයින් වෙත තවදුරටත් සම්බන්ධ වෙමින් ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණු කර ගනිමින් මෙම සමුළුව සංවිධානය කර තිබුණි.
source:adaderana,lk
