රේගු දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ජනපතිගේ අවධානය

Spread the love

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මෙහිදී, රේගු ක්‍රියාවලියේ සංකීර්ණත්වය හේතුවෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, වසර 2030 වන විට, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආයතනික ක්‍රියාවලිය ඩිජිටල්කරණයට මේ දක්වා ගෙන ඇති තාක්ෂණික විසඳුම් සහ එහිදී මතුව ඇති අභියෝග පිළිබඳවද අවධානයට යොමු විය.

එහිදී, ප්‍රධාන අභියෝගයක්ව පවත්නා නීති සංශෝධනය කිරීමේ කාර්යය හැකි ඉක්මනින් සිදු කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දැනට ක්‍රියාත්මක වන ASYCUDA පද්ධතිය සහ එහි පවතින අඩුපාඩු, ජාතික තනි කවුළු සේවාව (National Single Window), ආනයන සහ අපනයන නිවැරදිව වාර්තාගතකරණය, බදු නිදහස් කිරීම්, ආදායම් නිවැරදිව හඳුනා ගැනීම ආදී අභියෝගවලට ඩිජිටල්කරණය මගින් ලබා ගත හැකි විසඳුම් සහ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතියද සමාලෝචනයට ලක් කෙරිණි.

එමෙන්ම, දැනට උද්ගතව ඇති විද්‍යුත් වාණිජ්‍ය (e- commerce) පිළිබඳ ගැටලුවද මෙහිදී අවධානයට ලක් වූ අතර, ඒ සඳහා පාරිභෝගිකයා මූලික කර ගත් කඩිනම් හා සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී නෝනිස් යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *