ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2025-2029 සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන සාකච්ඡා ආරම්භ කෙරේ

Spread the love

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ එක්ව ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2025-2029 සකස් කිරීම සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇත. මෙය රටේ අපනයන තරඟකාරිත්වය ශක්තිමත් කිරීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ඇතිකිරීමට යොමු වූ උපායමාර්ගික මුලපිරීමකි.

මෙම ආරම්භක උපදේශන සැසිය ඊයේ (02) අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි. රජයේ සහ පුද්ගලික අංශයේ ආයතන, කර්මාන්ත සංගම් සහ අනෙකුත් හවුල්කරුවන්ගේ නියෝජිතයින් මේ සදහා එක්ව සිටියහ.

රජයේ 2025 අයවැයෙහි ප්‍රමුඛතාවයක් ලෙස ජාතික අපනයන සංවර්ධන සැලැස්ම හඳුනාගෙන ඇති අතර කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති පාදක ණය වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය වෙත බලය පවරා ඇත. මෙම සැලැස්ම 2025 නොවැම්බර් මාසය වනවිට සම්පූර්ණ කිරීමට අපේක්ෂා කෙරේ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ආරම්භක උපදේශන සැසිය අමතමින් ශ්‍රී ලංකාව ගෝලීය වෙළඳපොළවල තරඟකාරී ලෙස ස්ථානගත කිරීමේදී මෙම සැලැස්මේ ඇති වැදගත්කම අවධාරණය කළේය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පිළිගැනීමේ දේශනය පැවැත්වූ අතර කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ අධ්‍යක්ෂ තකාෆුමි කඩෝනෝ මහතා මෙම මුලපිරීමේ සහයෝගීතාවය පිළිබඳ අදහස් ඉදිරිපත් කළහ.

ශ්‍රී ලංකාවේ වෙළඳ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම, කලාපීය සහ ගෝලීය වෙළඳපොළ සම්බන්ධතා පුළුල් කිරීම සහ තිරසාර වෙළඳාම මත පදනම් වූ ආර්ථික වර්ධනයක් ඇති කිරීම යන මූලික අරමුණු තුන සාක්ෂාත් කර ගැනීම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මඟින් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2025 ඔක්තෝබර් 2 වන දා සිට10 වනදා දක්වා පුළුල් උපදේශන වැඩසටහනක් මෙයට සමගාමීව සංවිධානය කර ඇති අතර කණ්ඩායම් සාකච්ඡා සහ තාක්ෂණික කමිටු රැස්වීමක් එයට ඇතුළත් වේ. කලාපීය උපදේශන වැඩමුළුවක් ද පවත්වනු ලබන අතර 2025 නොවැම්බර් මාසයේදී කොළඹ දී වැඩමුළු දෙකක් පැවැත්වීමට සැලසුම්කර ඇත.

පළමු දිනයේ උපදේශන සැසියේ දී වෙළඳ සැපයුම් හා වෙළඳ පහසුකම් යන තීරණාත්මක ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ අතර ගෝලීය වෙනස්කම් අනුව වෙළඳ පරිසර පද්ධතියේ බාධක හඳුනාගෙන විසඳුම් ගවේෂණය කිරීමට සැලසුම් කරන ලද සැසි පැවැත්වෙනු ඇත.

මෙම උපදේශන සැසි හරහා නැගී එන කලාපීය වෙළඳපොළවල් සමඟ වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අවස්ථා ගවේෂණය කිරීමට, වෙළඳ පරිසර පද්ධතියේ අභියෝග විසඳීමට සහ ප්‍රධාන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳ සම්මුතියකට එළඹීමට කටයුතු කරනු ඇත.

2025 නොවැම්බර් වන විට ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සම්පූර්ණ කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේ උපාය මාර්ගයේ වැදගත් පියවරක් සනිටුහන් කරන අතර ඉදිරි වසරවල තිරසාර ආර්ථික වර්ධනයේ ප්‍රධාන බලවේගයක් ලෙස අපනයන ක්ෂේත්‍රය ක්‍රියාත්මක වනු ඇත.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *