
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය සහ කොළඹ දී පැවැත්වෙන Disrupt Asia – 2025 ප්‍රවර්ධනය මෙන්ම සිංගප්පූරුවේ දී ජූනි 10 -12 දිනවල පැවති Echelon 2025 සමුළුවට සහභාගි වීම සඳහා පැමිණි ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් හා නව ව්‍යවසායකයන් පිළිගැනීමේ හමුවක් (Networking Event) සිංගප්පූරුවේ Ceylon Sports Club හි දී ජූනි 10 වැනිදා පැවැත්විණි.
දෙරටේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් හා ව්‍යවසායකයන් අතර සබඳතා ගොඩනැඟීම හා සහයෝගිතාව වර්ධනය, ආයෝජන අවස්ථා පිළිබඳ සොයාබැලීම, දැනුම් හුවමාරුව හා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් දිගුකාලීන සහයෝගිතාව එහි අරමුණ විය.
එය දියත් කරමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා,
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ භූමිකාව ඉතා වැදගත් බව පෙන්වා දුන්නේය. එසේම, විදේශ විනිමය ඉපැයීමේදී ද එය වැදගත් මෙන්ම වර්ධනය වෙමින් පවත්නා මූලාශ්‍රයකි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, ව්‍යවසායකයන් සහ විශේෂයෙන් සිංගප්පූරුවේ සහ ගෝලීය නවෝත්පාදන ප්‍රජාව අතර සම්බන්ධතා වර්ධනය කිරීමේ වැදගත්කම මහකොමසාරිස්වරයා අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැ.බ.ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා,
අර්ථවත් සංවාදයක් පිණිස මෙන්ම සබඳතා ගොඩනැඟීමේ වේදිකාවක් ලෙස මෙය නිර්මාණය කිරීමේ දී මහකොමසාරිස් කාර්යාලයේ කාර්යභාරය අගය කළේය. ඩිජිටල් නවෝත්පාදන දිරිගැන්වීම සහ ඊට හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ කාර්යභාරය දැක්වූ ලේකම්වරයා, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට හා ව්‍යවසායකයන්ට සිංගප්පූරුවේ එම වෘත්තිකයන් හා ආයෝජකයන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීම මඟින් ගෝලීය වශයෙන් ඉදිරියට යාමට අවස්ථාව සැලසෙන බව පෙන්වා දුන්නේය.