
- ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කරමින් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත. ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.
- සමස්තයක් ලෙස වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත්ව පවතී. ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. ආදායම් රැස් කිරීමේ ප්‍රයත්නයන්, සංචිත එක්රැස් කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අපේක්ෂා කළ පරිදි සිදුවෙමින් පවතී. ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට අවසන්ය. විශේෂයෙන් ම, වැඩසටහනේ අරමුණු සඳහා රජය කැප වී සිටියි.
- කෙසේ වෙතත්, ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ අවිනිශ්චිතතා මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු අහිතකර බලපෑම් ඇති කිරීමේ අවදානම් පවතී. මෙම බලපෑම් ඇති වුවහොත්, බලධාරීන් සහ කාර්ය මණ්ඩලය එක්ව බලපෑම තක්සේරු කිරීමට සහ ජා.මූ. අරමුදල සහාය දක්වන වැඩසටහනේ පරාමිතීන් තුළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.
කොළඹ දී පැවති රැස්වීම් සහ වොෂින්ටන් නුවර දී පැවති ජා.මූ. අරමුදලේ හා ලෝක බැංකුවේ වසන්ත සෘතුවේ රැස්වීම් අතරතුර දී සිදු කළ සාධනීය සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාව සඳහා වන ජා.මූ. අරමුදලේ දූත මණ්ඩලයේ ප්‍රධානී එවන් පපාජෝ(ර්)ජියෝ මහතා විසින් පහත ප්‍රකාශය නිකුත් කරන ලදී:
“ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, ජා.මූ. අරමුදලේ මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සඳහා විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) බිලියන 2.3ක් (එ.ජ. ඩොලර් බිලියන 3ක් පමණ) 2023 මාර්තු 20 දින අනුමත කරන ලදී.
“පහත සඳහන් කරුණු සපුරාලීම මත මෙම කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය සඳහා ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇත: (i) පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම සම්බන්ධ පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම; සහ (ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැප වූ මූල්‍ය දායකත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් ප්‍රගතිය තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමු කරන මූල්‍යන සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම.
“විධායක මණ්ඩලයේ සමාලෝචනය සම්පුර්ණ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක් (එ. ජ. ඩොලර් මිලියන 344ක් පමණ) ලබා ගැනීමට ප්‍රවේශය හිමිවනු ඇති අතර, ඒ අනුව, මෙම පහසුකම යටතේ ජා.මූ. අරමුදල මගින් මේ දක්වා ලබාදුන් මුළු මූල්‍ය ආධාර ප්‍රමාණය වි.ගැ.හි. මිලියන 1,270ක් (එ. ජ. ඩොලර් මිලියන 1,722ක් පමණ) වනු ඇත.
“ශ්‍රී ලංකාවේ ඉහළ අපේක්ෂා සහිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රශංසනීය ප්‍රතිඵල ලබාදෙමින් පවතී. ආර්ථික අර්බුදයෙන් පසුව 2024 වසරේ දී ආර්ථිකය සියයට 5කින් වර්ධනය වීම විශිෂ්ටය. ආදායම් ඒකරාශී කිරීමේ ප්‍රතිසංස්කරණ හරහා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම, 2022 වසරේ දී පැවති සියයට 8.2ක සිට 2024 වසරේ දී සියයට 13.5ක් දක්වා වැඩි දියුණු වී ඇත. මහ බැංකුව විසින් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීම් හේතුවෙන් දළ නිල සංචිත 2025 වසරේ මාර්තු මස අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 6.5ක් දක්වා ළඟා විය. සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ, රාජ්‍ය මූල්‍ය තත්ත්වය ශක්තිමත් කර ඇත. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට අවසන් වී ඇත.
“වැඩසටහනේ ක්‍රියාකාරීත්වය සමස්තයක් ලෙස ශක්තිමත්ව පවතී. මූලික දත්ත මත පදනම්ව සලකා බලන කල, දැනට දත්ත ලබා ගත හැකි බොහෝ ප්‍රමාණාත්මක ඉලක්ක මාර්තු මස අවසානය වන විට සපුරා ඇති බව පෙනේ. අප්‍රේල් මස අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර හෝ තිබේ. කෙසේ වෙතත්, පිරිවැය ආවරණය වන විදුලි මිලකරණය පිළිබඳ අඛණ්ඩ ව්‍යුහාත්මක මිණුම් දඬු මෙතෙක් සපුරා නොමැත. උද්ධමනය මුදල් ප්‍රතිපත්ති උපදේශන ඉලක්ක මට්ටමට වඩා පහළින් පවතී.
“මෑත කාලීන ඇති වී තිබෙන බාහිර කම්පන සහ වර්ධනය වෙමින් පවතින ප්‍රවණතා මගින් තවමත් ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින ශ්‍රී ලංකා ආර්ථිකයට සැලකිය යුතු අවිනිශ්චිතතා ඇති කරයි.
“මෙම ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ, සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය ආරක්ෂා කර ගැනීම සහ කම්පන ඇති වුවහොත් ඒ සඳහා සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා තිරසාර ලෙස ආදායම් ඒකරාශී කිරීමේ ප්‍රයත්නයන් සහ විචක්ෂණශීලීව අයවැය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ. රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීම සහ විදුලි යටිතල පහසුකම් සඳහා සුදුසු ආයෝජන සිදු කිරීම සඳහා පිරිවැය ආවරණය වන විදුලි මිලකරණය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. වර්ධනය සඳහා ඉඩ සලසන අතර ම, රාජ්‍ය මූල්‍ය පිරිවැය සහ දූෂණ අවදානම් අවම කිරීම සඳහා බදු නිදහස් කිරීමේ රාමුව හොඳින් සැලසුම් කළ යුතුය. අතිරේක බදු ක්‍රියාමාර්ගවලට යොමු නොවී ආදායම් වර්ධනය කර ගැනීමට, බදු අනුකූලතාව ඉහළ නැංවීම සඳහා වන ප්‍රතිසංස්කරණ වැදගත් වේ.
“ඒ හා සමානව ම, කම්පන ඇති වුවහොත් සුදුසු ප්‍රතිචාර දැක්වීමට ඉඩ සැලසීම සඳහා විදේශීය සංචිත රැස්කිරීම හරහා බාහිර ස්වාරක්ෂක අඛණ්ඩව නැවත ගොඩනැගීම ඉතා වැදගත් වේ. උද්ධමන පීඩන පාලනය වී පවතින අතර බැංකු හොඳින් ප්‍රාග්ධනීකරණය කර ඇත. කෙසේ වෙතත්, තිරසාර මිල සහ මූල්‍ය ස්ථායීතාවය සහතික කිරීම සඳහා අඛණ්ඩ අධීක්ෂණය අවශ්‍ය වේ.
“මෙම දුෂ්කර අවස්ථාවේ දී දිළිඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීමට රජයට විශේෂ වගකීමක් ඇත. සමාජ ආරක්ෂණ ජාලවල ඉලක්කගත කිරීම, ඒවායෙහි ප්‍රමාණවත් බව සහ ආවරණය වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව ප්‍රයත්න දැරීම වැදගත් වේ. රාජ්‍ය මූල්‍ය සහාය හොඳින් ඉලක්ක ගත විය යුතු අතර, නිසි කාලයක් තුළ සහ පවතින අයවැය රාමුව තුළ ක්‍රියාත්මක විය යුතුය.
“වැඩසටහනේ අරමුණු සඳහා නව රජයේ තිරසාර කැපවීම, විශ්වාසය වැඩි දියුණු කර ඇති අතර ප්‍රතිපත්ති අඛණ්ඩතාව සහතික කරයි. ඉදිරි කාලයේ දී, දූෂණ අවදානම් අවම කිරීම ඇතුළුව ප්‍රතිසංස්කරණ තිරසාරව ක්‍රියාත්මක කිරීම, ලබා ගත් දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමට, සාර්ව ආර්ථික හා ණය තිරසාරභාවය දිගු කාලීනව පවතින ලෙස යථා තත්ත්වයට පත් කිරීමට සහ වේගවත් සහ සැමට ප්‍රතිලාභ සැලසෙන වර්ධනයක් ඇති කර ගැනීමට ඉතා වැදගත් වේ.
“මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජා. මූ. අරමුදලේ කණ්ඩායම වොෂින්ටන් නුවර දී සාකච්ජා පැවැත්වීය.
“දූත මෙහෙය අතරතුර පැවති ඉතා යහපත් සාකච්ඡා සහ ලබාදුන් ඉහළ සහයෝගය වෙනුවෙන් බලධාරීන්ට ස්තුති කිරීමට අපි කැමැත්තෙමු.”