
ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා. මූ. අරමුදල) සමඟ එක්ව, 2025 ජුනි 16 වන දින කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී “ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම: ණය සහ යහපත් පාලනය” යන මැයෙන් ඉහළ මට්ටමේ සමුළුවක් පැවැත්වූයේය.
ජා. මූ. අරමුදල මගින් සහාය දක්වන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා මෙම අවස්ථාවට ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින්, ගෝලීය පාර්ශ්වකරුවන් මෙන්ම පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජ නියෝජිතයින් එක්වූහ. සමුළුව ආරම්භ කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් පිළිගැනීමේ දේශනය පවත්වනු ලැබීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතා විසින් ආරම්භක දේශනය පවත්වන ලදී. ජා. මූ. අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය මෙම සමුළුවේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ජා. මූ. අරමුදල නියෝජනය කරමින් ආරම්භක දේශනය පැවැත්වුවාය.
2022 වසරේ ඇති වූ අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වීම සහ පාලනය සම්බන්ධයෙන් ඇති වූ පරිවර්තනය පිළිබඳව සමාලෝචනය කිරීමට සහ ජා. මූ. අරමුදල මගින් සහාය දක්වන විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහනේ පළමු අර්ධය අවසාන වී ඇති මෙම අවස්ථාවේ දී රටේ ප්‍රගතිය විශ්ලේෂණය කිරීමට මෙම සමුළුව මගින් ඉඩ ප්‍රස්තා සැලසුණි. සමුළුවේ න්‍යාය පත්‍රයට විද්වත් මණ්ඩල සාකච්ඡා සැසි හතරක් ඇතුළත් විය. එනම්, අර්බුදයට තුඩු දුන් කරුණු සහ ජා. මූ. අරමුදල සහාය දක්වන වැඩසටහනේ ආකෘතිය පිළිබඳ සාකච්ඡා කෙරුණු ආරම්භක සැසියක්, එයින් පසුව පැවැත්වුණු ණය තිරසාරභාවය කරා යන මාර්ගය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා විශ්වසනීයත්වය ඇති කිරීමේ මග පිළිබඳ සැසි දෙකක් සහ ඉදිරි අභියෝග පිළිබඳ සාකච්ඡාවට බඳුන් කෙරුණු අවසන් සැසියක් මෙයට අයත් විය.
ප්‍රධාන දේශනය පවත්වමින් ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, අර්බුදයෙන් පසුව යම් ස්ථාවරත්වයක් අත්කර ගත්ත ද, ආර්ථික අර්බුදයේ කැළැල් තවමත් දැකිය හැකි බවයි. එබැවින්, ආර්ථික තත්ත්ව වැඩිදියුණු කිරීම සහ දිගු කාලීන ස්ථාවරත්වයක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. තවද, ආර්ථික ස්ථාවරත්වය සහ ස්වශක්තිය තුළින් ජාතික ස්වෛරීභාවය යථා තත්ත්වයට පත් කිරීම හරහා මෙය රටේ අවසාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන බවට පත් කිරීම අවසාන ඉලක්කය විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ජා. මූ. අරමුදල් වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය රජයට ප්‍රශංසා කළ අතර, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී මුහුණ දීමට සිදු වූ බහුවිධ අභියෝග පෙන්වා දුන්නාය. ඇය ශ්‍රී ලාංකික ජනතාවගේ ධෛර්යය සහ කැපකිරීම් අගය කළ අතර, තිරසාර ලෙස ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සඳහා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අනුකූලව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, කල් පවතින පරිවර්තනයක් සිදු කිරීමට නම් එය අභ්‍යන්තරයෙන් ම මෙහෙය විය යුතු බවත්, ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ වගකීම රට විසින් භාර ගත යුතු බවත් අධිපතිතුමා අවධාරණය කළේය. ශ්‍රී ලංකා මහ බැංකු පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ දූෂණ විරෝධී පනත වැනි ප්‍රධාන නීති රාමු කිහිපයක් ම සම්පාදන කිරීම මගින් ආර්ථික කළමනාකරණයට අදාළ ආයතනික හා නියාමන රාමුව ශක්තිමත් කර ඇති බව අධිපතිතුමා තවදුරටත් සඳහන් කළේය.
2022 දී ශ්‍රී ලංකාවේ ඇති වූ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය සහ එයින් අනතුරුව ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට සිදු කළ ප්රයත්න වෙතට සාකච්ඡාව යොමු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර විසින් ආරම්භක සැසිය මෙහෙයවන ලදී. මෙම විද්වත් මණ්ඩලයට මහින්ද සිරිවර්ධන මහතා (භාණ්ඩාගාර ලේකම්), ආචාර්ය ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා (ජා.මූ. අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ), මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා (දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ) සහ සනත් මනතුංග මහතා (ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති) ඇතුළත් විය. සාර්ව සහභාගීත්වයකින් යුතු ප්‍රතිඵල සහතික කිරීම සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ජවය පවත්වා ගැනීම වැනි දැනට පවතින අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින්, ශක්තිමත් දේශපාලන අභිප්‍රායකින් සහ මනා ආයතනික සම්බන්ධීකරණයක් හරහා මෙරට ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වේගවත්ව සිදුකිරීම සුවිශේෂී වූ බව විද්වත් මණ්ඩලය පෙන්වා දුන්නේය.
ජා. මූ. අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී සහ ශ්‍රී ලංකාවේ හිටපු දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් මහතා විසින් “ණය තිරසාරභාවය සඳහා මාවත” යන පළමු සැසිය මෙහෙයවන ලදී. විලියම් රූස් මහතා (සම සභාපති, පැරිස් සමාජය), දේශාල් ද මෙල් මහතා (මුදල් අමාත්‍යාංශයේ හිටපු ආර්ථික උපදේශක), ජොහානා චුවා මහත්මිය (නැගී එන වෙළඳපොළ ප්‍රධානී, සිටිබෑන්ක්) සහ ඩෙබොරා සැන්ඩ්ස්ට්රා මහත්මිය (ප්‍රාග්ධන වෙළෙඳපළ සම්බන්ධ හවුල්කරු, ක්ලිෆර්ඩ් චාන්ස්) මෙම සැසිය සඳහා සහභාගී වූහ. සංකීර්ණ ණය හිමි ව්‍යුහයක් තුළ ශ්‍රී ලංකාවේ ණය කළඹ ප්‍රතිව්‍යුහගත කිරීමේ අත්දැකීම්, ගෝලීය ණය කළමනාකරණ ව්‍යුහය සකස් කිරීම සඳහා එමගින් ඇති කෙරෙන බලපෑම සහ අනාගත ණය තිරසාරභාවය රැක ගැනීම සඳහා උගත් පාඩම් මෙහි දී සාකච්ඡා කරන ලදී. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී ජා.මූ. අරමුදල සහ ණය උපදේශකයන් විසින් සිදු කෙරුණු වැදගත් කාර්යභාරය මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී විනිවිදභාවය පවත්වා ගැනීමේ සහ එමගින් සිදුවන අලාභයන් සාධාරණ ලෙස දරා ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණි.
ජා.මූ. අරමුදලේ නීති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානී ජොයෙල් ටර්කෙවිට්ස් මහතා විසින් දෙවන සැසිය වන “විශ්වාසනීයත්වය වෙත මාවත” මෙහෙයවනු ලැබිය. මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, කේ.බී. රාජපක්ෂ මහතා (කොමසාරිස්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව), මුර්තාසා ජැෆර්ජි මහතා (සභාපති, ඇඩ්වොකාටා ආයතනය), සහ මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා (ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්ය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය) විසින් මෙම සාකච්ඡා වටයේ දී ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගත්හ. මෙම විද්වත් සාකච්ඡාවේ දී, යහපාලනය තිරසාර ප්රතිසංස්කරණයන්ගේ පදනම ලෙස සඳහන් කෙරුණු අතර, ආසියානු රටක් සම්බන්ධ කර ගනිමින් ප්‍රථම වරට සිදු කරන ලද ශ්‍රී ලංකාවේ පාලන නිර්ණ වාර්තාවේ වැදගත්කම ඉස්මතු කෙරුණි. මෙම විද්වත් මණ්ඩල සාමාජිකයෝ මේ වන විට හඳුන්වා දී ඇති නෛතික හා ආයතනික ප්‍රතිසංස්කරණ පිළිබඳව අගය කළ අතර, ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ එම ප්‍රතිසංස්කරණ සඳහා මහජන විශ්වාසය සහ සහයෝගය ශක්තිමත් කිරීමටත්, ප්‍රතිසංස්කරණවල සාධාරණත්වය සහතික කිරීමටත් මහජන අදහස් විමසීමක් සිදු කළ යුතු බව අවධාරණය කළහ.
සමුළුව අවසන් වූයේ ජා.මූ. අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා විසින් මෙහෙයවන ලද “අනාගත අභියෝග” යන අවසන් සැසිය සමඟිනි. මෙම සුවිශේෂී විද්වත් මණ්ඩල සාකච්ඡා සැසිය සඳහා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය (පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ, ජා.මූ. අරමුදල), ගරු මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා (කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය), ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා (ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති), ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා (ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති), සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් මෙනෙවිය (විධායක අධ්යක්ෂ, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සහ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ පත් කරන ලද සාමාජික) සහභාගි විය. මෙහිදී ශ්‍රී ලංකාවට ප්‍රතිපත්තිමය වැරදි නැවත සිදු කිරීමට කිසිදු අවකාශයක් නොමැති බව ආචාර්ය ගෝපිනාත් මහත්මිය සඳහන් කළ අතර, ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ජවය පවත්වා ගැනීමේ සහ වැඩසටහන පිළිබඳ උනන්දුව හීන වීම වැළක්වීමේ වැදගත්කම අවධාරණය කළාය.
ගරු මහාචාර්ය ප්‍රනාන්දු මහතා වඩාත් සාධාරණ සමාජයක් ඇති කිරීම සඳහා රජයේ කැපවීම නැවත තහවුරු කළ අතර, ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහ සංවර්ධන අරමුණු සඳහා සහාය වීම සඳහා සංවර්ධන හවුල්කරුවන් සමඟ අඛණ්ඩ සහයෝගීතාවයකින් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. මෑත කාලීන ආර්ථික ජයග්‍රහණ තහවුරු කරමින් ව්‍යුහාත්මක හා ආයතනික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාමත් සමඟ සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ තීරණාත්මක කාර්යභාරය අධිපති ආචාර්ය වීරසිංහ මහතා පැහැදිලි කළේය. මේ අතර, දිගුකාලීන සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ මූලික පදනම ලෙස අපනයනාභිමුඛ වර්ධන උපාය මාර්ගයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ආචාර්ය කුමාරස්වාමි මහතා අවධාරණය කළේය. මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සහ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳ විශ්වසනීයත්වය නැවත ඇති කිරීම සඳහා පුළුල් ආයතනික ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය ආචාර්ය වීරකෝන් මෙනෙවිය විසින් අවධාරණය කරන ලදී.[1]
මෙම සමුළුව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වීමේ මාවතේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර, එමගින් සාර්ව සහභාගීත්ව සංවර්ධනයක් සඳහා සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් පවත්වාගැනීමට සහ ආයතනික පාලනය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා රජයේ, මහ බැංකුවේ සහ ජා.මූ. අරමුදලේ ඒකාබද්ධ කැපවීම පැහැදිලි කෙරුණි.
