
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 ජූලි 29 වැනි අඟහරුවාදා මහනුවර කටුගස්තොට මහවැලි රීච් හෝටලයේදී සාර්ථකව පැවැත්වීය.
මෙම සමුළුව මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල අපනයනකරුවන් එක් කරමින් ප්‍රාදේශීය අපනයන හැකියාවන් වර්ධනය කිරීම සහ ජාතික අපනයන උපායමාර්ගය සඳහා අවශ්‍ය සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණින් පැවැත්විණි.
මෙහි ප්‍රධාන අරමුණු වන්නේ:
- ප්‍රාදේශීය අපනයනකරුවන්ට රජේ ආයතන සහ ප්‍රතිපත්ති සැලසුම්කරුවන් සමඟ සෘජු සන්නිවේදනයක් ඇති කිරීම.
- රේගු ක්‍රියාපටිපාටිය, නීතිමය හා පරිපාලන ගැටළු සහ වෙළඳපොළ ප්‍රවේශ සම්බන්ධ ගැටළු සාකච්ඡා කර විසඳුම් සෙවීම.
- අපනයනකරුවන් අතර දැනුම් හුවමාරු කිරීම හා සම්බන්ධතා ගොඩනැගීමට අවශ්‍ය පහසුකම් සැපයීම.
- ප්‍රාදේශීය අපනයන ව්‍යවසායක අවශ්‍යතා මත පදනම්ව ප්‍රතිපත්ති සංවර්ධනයට සහය වීමය.
මෙම සමුළුවේ විශේෂ අවස්ථාවක් වුණේ, “කලාපීය අපනයනකරුවන්ගේ සංසදයක් පිහිටුවීම” පිළිබඳ සාකච්ඡාව වන අතර එය දිගුකාලීන ප්‍රාදේශීය අපනයන ජාලයක් ගොඩනඟා ගැනීම සඳහා ශක්තිමත් පදනමක් ලෙස සැලකිය හැක. මෙමගින් ග්‍රාමීය නිෂ්පාදකයින්ට ජාත්‍යන්තර වෙළඳපොළ සම්බන්ධතා ලබාදීම, සැපයුම් දාම සංවර්ධනය කිරීම සහ වඩා සමානාත්මක අපනයන පද්ධතියක් පිහිටුවීමට බලාපොරොත්තු වේ.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මැතිතුමා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී. එච්. එම්. අජිත් ප්‍රේමසිංහ මැතිතුමා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මැතිතුමා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මැතිතුමා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා ඩී. ධර්මසේන මැතිමිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මධ්‍යම පළාත් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම අපනයනකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා අපනයනකරුවන් අමතමින් කියා සිටියේ, අපනයනකරුවන් මුහුණ දෙන ගැටළු සඳහා ක්‍රමානුකූලව විසඳුම් ලබා දෙන බවත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සියළුම මැදිහත්වීම් සිදු කරන බවත්ය.
තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය වසරවල වාර්ෂික අපනයන වර්ධනය 1%ක් වූ අතර මේ වසරේ 8%ත් 10%ත් අතර වර්ධනයක් බලාපොරොත්තු බවත්ය. ඒ අනුව ඉදිරි වසර 5 සඳහා ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයට අප යා යුතුය. ඒ නිසා සියල්ලන්ගේම දායකත්වය, අවධානය සහ කැපවීම මේ සඳහා අවශ්‍ය බවත්, අපනයන දියුණු කිරීම අප සියල්ලන්ගේම සාමූහික උත්සාහයක් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මෙය ජාතික අපනයන උපායමාර්ගයට අනුකූලව ක්‍රියාත්මක කරන අතර, කලාපීයව සමාන හා සාධාරණ අපනයන වර්ධනයක් ඇති කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.