
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2025 අගෝස්තු 1 වන දින සිංගප්පූරු ආහාර ඒජන්සියේ (SFA) නියෝජිත කණ්ඩායමක් සමඟ රැස්වීමක් පවත්වන ලදී. මෙම රැස්වීම කුකුළු මස් නිෂ්පාදනාගාර විගණනයේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ සිට සිංගප්පූරුව වෙත කුකුළු මස් නිශ්පාදන අපනයනය කිරීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කරන ලදී.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡාව ආරම්භ කළ අතර අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා ඩී. ධර්මසේන මහත්මිය, අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.
සිංගප්පූරු ආහාර ඒජන්සියේ නියෝජිත කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන හර්මන් ටියෝ මහතා (නියෝජ්‍ය අධ්‍යක්ෂ, ඒකාබද්ධ මෙහෙයුම් අංශය), ලෝ බී ලෙන්ග් මහත්මිය (ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ, ඒකාබද්ධ මෙහෙයුම් අංශය), වෛද්‍ය එම්. යෝගනන්දිනී (පශු වෛද්‍ය, නියාමන ප්‍රමිති හා පශු වෛද්‍ය කාර්යාලය), සහ ඇලෙක්ස් චෙන් මහතා (කළමනාකරු, නිරිත දිග කලාපීය කාර්යාලය) ඇතුළත් විය.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලී කොතලාවල මහත්මිය, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පශු වෛද්‍ය එච්. කොතලාවල මහතා සහ අනෙකුත් තාක්ෂණික ප්‍රවීණයන් සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය නියෝජනය කරමින් පශු වෛද්‍ය පාලිකා ප්‍රනාන්දු මහත්මිය (අතිරේක ලේකම්, පශුපාලන සංවර්ධන) මෙම සාකච්ඡා සදහා සම්බන්ධ වුහ.
සාකච්ඡාවේ පදනම වූයේ ශ්‍රී ලංකාවට සිංගප්පූරු ආහාර ඒජන්සිය විසින් මෑතකදී සිදු කරන ලද පරීක්ෂණ මෙහෙයුම් දෙකක් මතය. පළමු සංචාරය 2024 මාර්තු මාසයේදී සිදු කරන ලද අතර එහිදී නිව් ඇන්තනීස් ෆාම්, නෙල්නා ෆාම් සහ සීලන් ග්‍රේන් එලිවේටර්ස් යන ආයතන ආවරණය විය. දෙවන සංචාරය ජූලි 28 සිට අගෝස්තු 1 දක්වා පවත්වන ලද අතර, එහිදී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ, පුස්සෙල්ල ෆාම්, ජය ෆාම් සහ බයිරාහා ෆාම්ස් පීඑල්සී හි විගණනය ඇතුළත් විය.
ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ කුකුළු මස් නිෂ්පාදන සැපයීමේ හැකියාව මෙහිදී අවධාරණය කරන ලද අතර එයට පදනම වන්නේ රෝග රහිත තත්ත්වය, උපාය මාර්ගික භූගෝලීය පිහිටීම සහ තරඟකාරී නිෂ්පාදන පිරිනැමීම්ය. 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 5.4 ක් වටිනා කුකුළු මස් නිෂ්පාදන අපනයනය කරන ලද අතර මෙය පෙර වසරට සාපේක්ෂව 37%ක වර්ධනයක් පෙන්වන අතර මාලදිවයින, කටාර්, වියට්නාමය, හොංකොං සහ ජපානය ඇතුළු ගමනාන්තවලට අපනයනය කරන ලදී. චීන වෙළඳපොළට ප්‍රවේශ වීමේ උත්සාහයන් ද ක්‍රියාත්මක වෙමින් පවතී.
අපනයන සංවර්ධන මණ්ඩලය සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විසින් සිංගප්පූරුවට අපනයනය කිරීමේ හැකියාව ඇති ශ්‍රී ලාංකික සමාගම් කිහිපයක් ලේඛනගත කර සිංගප්පූරු ආහාර ඒජන්සිය වෙත ඉදිරිපත් කර ඇති අතර ඉහත දක්වා ඇති ආයතන ඊට ඇතුලත්ය. සිංගප්පූරුවේ දැඩි ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් සපුරාලීම සහ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට වෙළඳපොළ ප්‍රවේශය ලබා ගැනීම සඳහා වන නියාමන අවශ්‍යතා ගෙනහැර දැක්වීම එහිදී ප්‍රධාන විය.
දෙපාර්ශවයම සමීප සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළහ. සිංගප්පූරු ආහාර ඒජන්සිය හි සම්බන්ධීකරණය සහ නියාමන අනුකූලතාව සහතික කිරීමේදී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙහි නායකත්වය සාර්ථක වෙළඳපොළ ප්‍රවේශය ලබා ගැනීම සඳහා වැදගත් බව ප්‍රශංසා කරන ලදී. මෙම මුලපිරීම ද්විපාර්ශ්වික කෘෂිකාර්මික වෙළඳාම වර්ධනය කිරීමේ සහ ශ්‍රී ලංකාවේ අපනයන විවිධාංගීකරණය කිරීමේ සැලකිය යුතු පියවරකි.