ශ්‍රී ලංකාවට ලැබෙන මීළග IMF වාරිකය ගැන තීරණය ජූලි 01 දා

Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම පසුගිය අප්‍රේල් 25 ද සිදුවිය.

කෙසේවෙතත් මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත මීළඟ වාරිකය වන එ.ජ. ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය ලබා ගැනීමට නම් මෙම සමාලෝචනය ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ යුතුව තිබේ.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් කියා සිටියේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට නම් කරුණු දෙකක් ශ්‍රී ලංකාව සපුරාලිය යුතු බවයි. එනම්,

1. පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරීත්වය සහතික කිරීම සම්බන්ධ පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම.

2. බහුපාර්ශවික හවුල්කරුවන්ගේ කැප වූ මූල්‍ය දායකත්වය සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රමාණවත් ප්‍රගතිය තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමු කරන මූල්‍යන සහතික සහාලෝචනය සම්පූර්ණ කිරීම.

මේ අතර පසුගිය දා මෙරට සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ජූලි 01 වන දින විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ සිව්වන සමාලෝචනය ඇගයීමට නියමිත බවයි.

අද දෙරණ සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පැවසූ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය එහිදී, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය අගය කළ අතර, උද්ධමනය 70% සිට -0.7% දක්වා පහත වැටීම, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස බදු ආදායමේ තුනෙන් දෙකක වැඩිවීමක් සහ විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ යාම සම්බන්ධයෙන් සාධනීය අදහස් දැක්වීමක් සිදුකළාය.

source;adaderana.lk

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *