“ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” පිළිබඳව ආනයනකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්

Spread the love

ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) විසින් සංවිධානය කරන ලද “ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” පිළිබඳව ආනයනකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

රේගු කටයුතු කඩදාසි රහිත කිරීමේ (Paperless Document Processing at Customs) වැඩසටහන කඩිනම් කිරීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර ඇත.

කඩදාසි රහිත රේගු ප්‍රකාශන ව්‍යාපෘතිය තුළින් වෙළෙඳ කේෂ්ත්‍රයට අත්වන ප්‍රතිලාභ සම්බන්ධව මෙහිදී පුළුල් ලෙස මෙහිදී සාකච්ඡා විය.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය සහ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ කාර්යභාරය පිළිබඳව විශේෂ දේශනයක් සිදු කළ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ ප්‍රධානි ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලි අරුක්ගොඩ මහතා, ඔක්තෝබර් මස 01වනදා සිට ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු තාක්ෂණ අංශය ලබා දෙන දායකත්වය අගය කරන බවද පැවසීය.

අනතුරුව LankaPay ආයතනයේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් තාක්ෂණික සැසියක් සංවිධානය කරනු ලැබ තිබූ අතර, එහිදී ඩිජිටල් අත්සන යනු කුමක්ද? එය ලබා ගන්නා නිවැරදි ආකාරය සහ රේගු ප්‍රකාශන (Customs Declarations) ඉදිරිපත් කිරීමේදී එය ප්‍රායෝගිකව භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳවද සහභාගී වූවන් පුළුල්ව දැනුවත් කෙරිණි.

රේගු අධ්‍යක්ෂවරුන් වන රුවන් තිසේරා, සිසිර කුමාර යන මහත්වරු, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂකවරුන් වන ඩබ්ලිව්. එල්. සී. තිලකසිරි, එම්. ඒ. ප්‍රේමලාල් යන මහත්වරු, ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි සහ මහලේකම් ශිරාන් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ තොරතුරු තාක්ෂණ නිලධාරීහු, LankaPay ආයතනයේ නියෝජිතයින් මෙන්ම ආනයනකරුවෝද, ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *