ජනාධිපති සහ පොල් සහ ආහාර පාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක්

Spread the love

පොල් සහ ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත්, පොල් සහ ආහාර පාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඒ අනුව පොල් ආශ්‍රිත අපනයන කර්මාන්තය ඩොලර් බිලියන 02ක් ලෙසත්, ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඩොලර් බිලියන 01ක් ලෙසත් ගොඩනැංවීමට අපේක්ෂා කෙරෙන අතර ඊට අදාළ සැලසුම් පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන දිරිගැන්වීම වෙනුවෙන් රජයෙන් ලබා දිය යුතු ඕනෑම ආකාරයක දිරිගැන්වීමක් ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මෙම කර්මාන්ත නගාසිටුවීම සඳහා වූ යෝජනා සහ අදහස්ද මෙහිදී ඉදිරිපත් කෙරුණු අතර එම සියලු යෝජනා සහ අදහස් සැලකිල්ලට ගනිමින් ඉදිරි සැලසුම් සකස් කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම උතුරේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා දිරි ගැන්වීම් සිදු කරන බවත්, එහිදී පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට අදාළ කර්මාන්ත ස්ථාපනය සඳහා රජයේ උපරිම සහාය ලබා දෙන බවටත් ජනාධිපතිවරයා එකඟතාව පළ කළේය.

දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගනිමින් අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම විධිමත් කිරීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

දේශීය සැපයුම් දාම නගාසිටුවමින් අපනයන මූලික කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ලෙස මෙරට ආර්ථිකය ගොඩනැගීම සිය රජයේ අපේක්ෂාව බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *