ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ 28 වැනි වාර්ෂික සමුළුවේදී 2026 / 2027 වසර සඳහා විධායක කමිටුව පත්කර ගැනේ

Spread the love

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින්, සිය 28 වැනි වාර්ෂික සමුළුව 2025 සැප්තැම්බර් මස 24 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. වර්ෂ 1997 දී මෙරට ආහාර පාන සැකසුම් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් එකමුතුව සාමූහික හඬක් නැංවීමෙහි අරමුණෙන් නිර්මාණය වූ ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය සමග මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මෙන්ම දැවැන්ත සමාගම් හා බහුජාතික සමාගම් 162 කට අධික පිරිසක් සාමාජිකයන් ලෙස එක්ව සිටියි.

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ 28 වැනි වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 2024 – 2027 ශ්‍රී ලාංකීය ආහාර ක්ෂේත්‍රයේ චක්‍ර ආර්ථිකයක් උදෙසා ව්‍යාපෘතියේ (Circular Economy in the Food Sector Project 2024 – 2027) ව්‍යාපෘති කළමනාකාරිනී කැමේලියා ඇන්ඩ්‍රියා බුකාටරිව් මහත්මිය සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ ආහාර විනාශ වීම, අපතේ යාම හා ප්ලාස්ටික් ඇසුරුම් නිසා සිදුවන නාස්තිය පිළිබඳ සමුළුවේ අවධානය යොමු කළාය. ඇය සඳහන් කළ පරිදි FAO/IWMI 2023 වාර්තා අනුව ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශයන්හි ආහාර නාස්තිය සමස්ථ නගර සභා අපද්‍රව්‍යයන්ගෙන් ආසන්න වශයෙන් 56. 6% ක් හෝ දිනකට ටොන් 3963 කි. ආහාර සැපයුම් ක්‍රියාවලියේදී ආහාර නාස්තිය හා ප්ලාස්ටික් නිසා නාස්ති වීම අතර සම්බන්ධතාවය පෙන්වාදුන් ඇය ආහාර ඇසුරුම්කරණයේදී එක්වරක් භාවිතාකොට ඉවත දමන ප්ලාස්ටික් වෙනුවට විකල්ප භාවිතා කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. කෘෂි ආහාර සැපයුම් ක්‍රියාවලියේදී චක්‍ර ආර්ථික ක්‍රමවේදයක් ආදේශ කිරීම හරහා නාස්තිය අවමකොට ඵලදායීතාව වැඩිදියුණු කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව අවස්ථා රැසක් නිර්මාණය කළ හැකි බව ඇන්ඩ්‍රියා මහත්මිය එහිදී පැවසුවාය. සියලු වගකිවයුතු පාර්ශ්ව එකට එක් වෙමින් ආහාර නාස්තිය හා ප්ලාස්ටික් නිසා සිදුවන නාස්තිය අවම කරමින් චක්‍ර ආර්ථික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම හරහා දේශගුණ විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දීම, ආහාර සුරක්ෂිතතාවය ස්ථාවර කිරීම සිදුවන අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තිරසර වර්ධනයක්ද සිදුවන බව ඇය සිය දේශනය අවසන් කරමින් පැවසුවාය.

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ හිටපු සභාපති තුසිත් විජේසිංහ මහතා සමුළුවේදී අදහස් දක්වමින් තම සංගමයේ සහ සාමාජික සමාගම්වල උන්නතිය උදෙසා වෙහෙසුනු පසුගිය සභාපතිවරුන් 14 දෙනා සිහිපත් කරමින් සිය කෘතවේදීත්වය පළ කළේය. පසුගියදා අතිසාර්ථක ලෙස අවසන් වූ ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් 2025 ප්‍රදර්ශනය සහ සාමාජිකයන් අතර සුහදතාවය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කළ වාර්ෂික ක්‍රිකට් සැණකෙළියේ සාර්ථකත්වය වෙනුවෙන් එක්වූ සියල්ලන්ටද ඔහු ස්තූති කළේය. හිටපු සභාපතිවරයාගේ අදහස් දැක්වීමේදී හෙළි වූයේ ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ ඉදිරි පැවැත්ම උදෙසා පහසුකම් සැලසීමට බොරැල්ල ගෝතමී පාරේ කාර්යාල පරීශ්‍රයක් සකස් කිරීම වෙනුවෙන් දීර්ඝ කාලීන සැලසුම් සකස්කොට ඇතිබවයි.

ඉදිරි 2026 / 2027 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය මෙම සමුළුවේදී තෝරා පත් කරගන්නා ලද අතර එහිදී නව සභාපතිවරයා ලෙස සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී හි අරුණ සේනානායක මහතා තෝරා පත්කෙරිණ. ලේකම් ධූරය සඳහා නියෝකෙම් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමේ දීපාල් ද අල්විස් මහතාත්, යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සංජීව ද සිල්වා මහතා භාණ්ඩාගාරික ධූරයටත් පත්කෙරිණ.

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ පළමු උප සභාපතිවරයා ලෙස විස්වක මාකටින් පුද්ගලික සමාගමේ වසන්ත චන්ද්‍රපාල, දෙවන උප සභාපතිවරයා ලෙස ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් කොමොඩිටි බ්‍රෝකර්ස් පුද්ගලික සමාගමේ දමිත පෙරේරා සහ තෙවන උප සභාපතිවරයා ලෙස ඩීසල් ඇන්ඩ් මෝටර් ඉංජිනියරින් පීඑල්සී හි රසික සෙනෙවිරත්න යන මහත්වරුන් තෝරා පත්කර ගැනිණ.

සංගමයේ සහකාර ලේකම් ලෙස කන්ට්‍රි ස්ටයිල් ෆුඩ් පුද්ගලික සමාගමේ දිනෙත් අලහකෝන් මහතා සහ සහකාර භාණ්ඩාගාරික ලෙස වෙස්ට්මන් ඉංජිනියරින් පුද්ගලික සමාගමේ සමීර ජයතිලක මහතාත් තෝරා පත්කරගන්නා ලදී.

මෙම නව නිලධාරී මණ්ඩලයට ශක්තියක් ලෙස, පසුගිය වසරේ හිටපු සභාපති ට්‍රාන්ස් කොන්ටිනෙන්ටල් පැකේජින් කොමොඩිටීස් පුද්ගලික සමාගමේ තුසිත් විජේසිංහ සහ යෝජිත සභාපති මෙඩ් ලී ට්‍රේඩින් කම්පැනි පුද්ගලික සමාගමේ නදීශාන් ගුරුගේ යන මහත්වරුන් ද විධායක කමිටුවට තෝරාපත්කර ගන්නා ලදී.

ඉදිරි වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ නව කමිටු සාමාජිකයන් ලෙස නිරෝෂ් ලලන්ත (සිලෝන් කෝල්ඩ් ස්ටෝස් පීඑල්සී), නිරෝෂන් දල්පතාදු (සී. ඩී. ද ෆොන්සේකා ඇන්ඩ් සන්ස් සමාගම), ශෙරාන් ද අල්විස් (මාස් ට්‍රොෆිකල් ෆුඩ් ප්‍රොසෙසින් පුද්ගලික සමාගම), සංජීව නිරෝෂාන් (එස්. ජී. එස් ලංකා පුද්ගලික සමාගම), අමිල වීරසිංහ (නෙස්ලේ ලංකා ලිමිටඩ්), තුසිත ඒකනායක (අනෝඩ්ස් කොකෝවා පුද්ගලික සමාගම), විජිත ගෝවින්න (සිලෝන් බිස්කට්ස් ලිමිටඩ්), රංගජීව හෙට්ටිආරච්චි (ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පුද්ගලික සමාගම), කුෂාන් අමරසිංහ (ෆිනේගල් ලංකා පුද්ගලික සමාගම) යන මහත්වරුන් සහ ප්‍රහර්ෂි වික්‍රමසේකර මහත්මිය (ඉන්ටනැෂනල් කොමොඩිටි ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම) තෝරා පත්කරගන්නා ලදී.

එස්. ජී. එස් ලංකා පුද්ගලික සමාගම, යුනිලිවර් ශ්‍රී ලංකා ලිමිටඩ් සහ හේලීස් ඇවෙන්චුරා පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ 28 වැනි වාර්ෂික සමුළුව වෙනුවෙන් ස්වර්ණමය අනුග්‍රාහකත්වය එක් කොට තිබූ අතර ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය (LECS) සමුළුව සංවිධානය කිරීමෙහිලා ලෝකඩ අනුග්‍රාහක දායකත්වය සපයා තිබිණ.

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ 28 වැනි වාර්ෂික සමුළුවේ සමාප්තිය නිල වශයෙන් සනිටුහන් කරමින් ලේකම් හේමන්ත බාලසූරිය මහතා ස්තූති කතාව ඉදිරිපත් කළ අතර සංගමයේ සාමාජිකයන් අතර එකමුතුකම හා සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් භෝජන සංග්‍රහයක්ද සංවිධානය කොට තිබිණ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *