
මහාචාර්යවරයෙක් සිසුන් ගෙන් ඇහුවා.. “ගහක කුරුල්ලෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනාගෙන් තුන් දෙනෙක් පියාඹන්න තීරණය කළා නම්, ගහේ ඉතුරු වෙන්නේ කුරුල්ලෝ කී දෙනෙක්ද?”
හැමෝම එක හෙළා කිව්වා.. “එකයි!” කියලා.
ඒත් එක් සිසුවෙක් එකඟ වුණේ නැහැ. එයා කිව්වා, “කුරුල්ලෝ හතර දෙනාම ඉතුරු වෙනවා” කියලා, ඒ පිළිතුර නිසා එයා එතැන හැමෝගෙම අවධානය දිනාගත්තා, මහාචාර්යවරයා ඇහුවා,
“කොහොමද එහෙම වෙන්නේ?”
ඒ සිසුවා මෙහෙම උත්තර දුන්නා..
“ඔබ කිව්වේ කුරුල්ලෝ පියාඹන්න ‘තීරණය කළා’ කියලා මිසක්, ‘පියාඹුවා’ කියලා නෙවෙයිනේ. තීරණයක් ගත්තා කියලා කියන්නේ ක්‍රියාවට නැගුවා කියන එක නෙවෙයි…”
ඇත්තටම ඒක තමයි, නිවැරදි උත්තරය වුණේ!
මේ කතාවෙන් අපිට වැදගත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ජීවිතේ සමහර මිනිස්සුත් හරියට මේ කුරුල්ලෝ වගෙයි. ලස්සන වචන තියෙනවා, ප්‍රසිද්ධ සටන් පාඨ කියනවා, යාළුවන් අතර, රැස්වීම් වලදී හරිම දක්ෂයි. ඒත් ඇත්තටම ඒ අයගේ ජීවිත ඒ වචන වලට වඩා හාත්පසින්ම වෙනස්. බොහෝ දෙනෙක් කතා කරනවා, ඒත් ක්‍රියාත්මක කරන්නේ ටික දෙනයි!
තීරණයක් ගැනීම කියන්නේ එක දෙයක්. ඒක ක්‍රියාවට නැගීම කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්! මේක හරිම වැදගත් අවවාදයක්, ඒ තමයි මේ ලෝකය අයිති ලොකු ලොකු දේවල් කරන්න තීරණය කරන අයට නෙවෙයි, ඇත්තටම ඒ දේවල් කරන අයටයි. අපි තවත් කතාවක් අහලා බලමු. මේකත් අදේ අපේ මාතෘකාවට හොඳටම ගැලපෙන කතාවක්..
එක ගොවිපළක කිරි බාල්දියක් තිබුණා. දවසක් ඒ බාල්දියට මැඩියෝ දෙන්නෙක් වැටුණා. බාල්දියේ කිරි ගොඩක් තිබුණා, ඒත් එළියට පනින්න තරම් උසට ඒ දෙන්නට පනින්න බැරි වුණා.
පළවෙනි මැඩියා ටික වෙලාවක් එහාට මෙහාට පිහිනලා උත්සාහ කළා එළියට පනින්න. ඒත් තේරුමක් නැති බව දැකලා, “මේකෙන් බේරෙන්න බැහැ. කොච්චර උත්සාහ කළත් වැඩක් නැහැ” කියලා හිතලා, එයා උත්සාහය අත්හැරලා කිරිවල ගිලිලා මැරිලා ගියා. මොකද එයා තීරණය කළේ අත්හරින්න!
ඒත් දෙවෙනි මැඩියා එහෙම හිතුවේ නැහැ. “මම මොනවා හරි කරන්න ඕන, ජීවත් වෙන්න නම්..” කියලා එයා හිතුවා. එයා දිගින් දිගටම පුළුවන් තරම් වේගෙන් කිරිවල පිහිනුවා, කකුල් දෙකෙන්ම ගැහුවා. එයා උත්සාහය අත්හැරියේ නැහැ. විනාඩි ගාණක් එහෙම කරනකොට, හරි පුදුම දෙයක් වුණා…
එයාගේ අඛණ්ඩ ක්‍රියාව නිසා කිරි ටික ක්‍රමයෙන් බටර් වෙන්න පටන් ගත්තා! තමන්ගේ ක්‍රියාවෙන් හැදුණු ඒ බටර් කෑල්ල උඩට පැනපු දෙවෙනි මැඩියා, බාල්දියෙන් එළියට පැනලා ජීවිතේ බේරගත්තා.
පළවෙනි මැඩියා “අත්හරින්න තීරණය කරලා” මැරිලා ගියා. දෙවෙනි මැඩියා “නොනවත්වා ක්‍රියාත්මක වෙලා” ජීවිතේ දිනුවා. මේක පුංචි කතාවක් වුණත්, අපේ ජීවිතේට කොච්චර නම් වැදගත් පාඩමක්ද කියලා හිතලා බලන්න!
දන්නවද මැඩියෝ අතරින් විතරක් නෙවෙයි මේ ලෝකෙම ජීවත් වෙන මිනිස්සු අතරිනුත් මේකට හොඳම උදාහරණ තියෙනවා…
ජැක් මා

1964 දී චීනයේදී උපත ලැබූ ජැක් මා, ඔහුගේ ජීවිතයේ මුල් අවධියේදී බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. ජැක් මාගේ දෙමාපියෝ දුප්පත්, වීනයේ සාම්ප්‍රදායික සංගීත කතා කියන්නන් විදිහට තමයි ජීවත් වුණේ. හරියට මෙහෙ විරිදු වගේ.. ඒ අයගේ ඉතා සීමිත සම්පත් මැද වුණත්, ජැක් මා පොඩි කාලේ ඉඳන්ම ඉංග්‍රීසි ගැන ලොකු උනන්දුවක් දැක්වුවා. එයා නිතරම සංචාරකයින්ට තමන්ගේ නගරය පෙන්නලා, ඒ අයත් එක්ක ඉංග්‍රීසි පුරුදු වුණා. අධ්‍යාපනය එයාට වැදගත් වුණත්, විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයෙන් දෙපාරක්ම අසමත් වුණා, හරියට මෙහෙ උසස් පෙළ විභාගය වගේ! තුන්වෙනි උත්සාහයේදී තමයි සරසවි ගිහින් එයා හැංෂෝ විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි උපාධියක් ලබාගත්තේ.
මේ හැම අසමත් වීමකදීම, එයා අත්හැරියේ නැහැ. තමන්ගේ අරමුණ කරා ක්‍රියාත්මක වෙමින්ම සිටියා. හරියට අර අත්නොහැරිය මැඩියා වගේ..
“උපාධිය ගත්තට පස්සේ නම් ජැක්ට රස්සාවක් හම්බවෙන්න ඇති ?”
උපාධිය ලැබුවට පස්සේ ජැක් මා රැකියා ගණනාවක් සඳහා ඉල්ලුම් කළත්, නැවත නැවතත් ප්‍රතික්ෂේප වුණා. KFC එකේ රැකියා සම්මුඛ පරීක්ෂණයකට ගියාම, අයදුම්කරුවන් 24 දෙනාගෙන් 23 දෙනෙක්ම තේරුණා. ඒත් ජැක් මා විතරක් ප්‍රතික්ෂේප වුණා..
බලන්න ඒක මොනතරම් කලකිරීමක්ද? හිතලා බලන්න, හැමෝම තේරෙන තැනකින් ඔබව විතරක් අයින් කළොත් දැනෙන හැඟීම! ඒත් එයා එතනින් නැවතුනේ නැහැ. ඒ පාර තීරණයක් ගත්තා, තමන්ගේම දෙයක් කරන්න!”
1994දී ජැක් මා ඔහුගේ පළමු ව්‍යාපාරය වන “හයිබෝ පරිවර්තන ඒජන්සිය” (Haibo Translation Agency) ආරම්භ කළා. අන්තර්ජාලයේ තිබෙන හැකියාවන් හඳුනාගත් ඔහු, 1995 දී ඔහුගේ පළමු අන්තර්ජාල සමාගම වන “චයිනා පේජස්” (China Pages) ආරම්භ කළා. ඒත් ඒක එතරම් සාර්ථක වුණේ නැහැ. ඒත් එය ඔහුගේ ව්‍යවසායකත්ව ගමනේ ආරම්භය සනිටුහන් කළා. මේ හැම අසාර්ථක පියවරකදීම, ඔහු ක්‍රියාවලින් ඉගෙන ගත්තා.
අලිබබා ආරම්භ කිරීම
1999දී ජැක් මා, ඔහුගේ කණ්ඩායම සමඟ හැංෂෝ නගරයේදී අලිබබා (Alibaba) ආරම්භ කළා. අලිබබා ආරම්භ වුණේ චීන ව්‍යාපාර ලෝක වෙළඳපොළ සමඟ සම්බන්ධ කරන වේදිකාවක් විදිහටයි. කාලයත් එක්ක මේ සමාගම ඊ-වාණිජ්‍යය (e-commerce), ක්ලවුඩ් පරිගණකකරණය (cloud computing), සහ ඩිජිටල් ගෙවීම් (digital payments) දක්වා ව්‍යාප්ත වෙලා, අද ලෝකයේම දැවැන්ත සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඉන්නවා.
ටාඕබාඕ (Taobao) සහ අලිපේ (Alipay) 2003 දී ජැක් මා, ටාඕබාඕ සහ අලිපේ දියත් කළා. මේවා චීනයේ ඊ-බේ (eBay) වැනි සමාගම් වලට ලොකු අභියෝගයක් වුණා. ගාස්තු රහිත ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, ටාඕබාඕ සමාගම චීන වෙළඳපොලේ ඊ-බේ අභිබවා යාමට සමත් වුණා. මේ හැම පියවරකදීම තිබුණේ නිර්භීත ක්‍රියාත්මක වීමක්!
ගෝලීය සාර්ථකත්වය
2014දී අලිබබා සමාගම නිව්යෝක් කොටස් වෙළඳපොලේ (New York Stock Exchange) සිදු කළ IPO (මූලික මහජන නිකුතුව) හරහා ඩොලර් බිලියන 21.8 ක් රැස් කළා. ඒක ඇමරිකානු ඉතිහාසයේ විශාලතම IPO එක බවට පත් වුණා. ජැක් මාගේ කතාව දිහා බලද්දි, පැහැදිලියි නේද? එයා තීරණ ගත්තා විතරක් නෙවෙයි, ඒවා ක්‍රියාවට නැගුවා. රැකියා ප්‍රතික්ෂේප වුණාම අතහැරියේ නැහැ. ව්‍යාපාර අසාර්ථක වුණාම හිතුවක්කාර විදිහට අයින් වුණේ නැහැ. එයා හැම අසාර්ථකත්වයක්ම පඩිපෙළක් කරගෙන ඉහළට ගියා. ඒකට හේතුව, එයා නිතරම ක්‍රියාවේ නිරත වීමයි.
“ක්‍රියා කිරීම” ගැන කතා කරන කොට තව අමතක කළ නොහැකි ප්‍රකාශයක් තියෙනවා ඒ,
“ජීවිතයත් හරියට බයිසිකලයක් පදිනවා වගෙයි, නොවැටී සිටිමට නම්, ඔබ අනිවාර්යයෙන් ගමන් කළ යුතුයි.” -ඇල්බට් අයින්ස්ටයින්
බයිසිකලයක් නොනවත්වා පැදීමෙන් සමබරතාව රැකගන්නා ආකාරයටම, ජීවිතයේ ඉදිරියට යාමෙන් අපට විවිධ අභියෝග හමුවේ ස්ථාවරව සිටීමට සහ සාර්ථකත්වයට ළඟා වීමට පුළුවන්..
අපට උස් පහත් බිම් හමුවිය හැකියි. පහත් බෑවුම් වලදී වේගය පාලනය කරමින් ඉදිරියට යා යුතු අතර, උස් කදු වලදී වැඩි ශක්තියක් යොදා ඉදිරියට යා යුතුය. ජීවිතයේ ද අපට පහසු සහ දුෂ්කර අවස්ථා දෙකම හමුවේ. දුෂ්කරතා හමුවේ අධෛර්යමත් නොවී, ධෛර්යයෙන් හා උත්සාහයෙන් ඒවා ජය ගත යුතුය. කෙටියෙන් කිවහොත් මෙම ප්‍රකාශය ජීවිතය ගතික ක්‍රියාවලියක් බවත්, සාර්ථකත්වය හා යහපැවැත්ම ළඟා කර ගැනීමට නම්, අපි නිරන්තරයෙන් ක්‍රියා කළ යුතු බවත්, වෙනස්කම් වලට අනුවර්තනය විය යුතු බවත්, අභියෝග ජය ගත යුතු බවත්, ජිවිතයේ විවිධ අංශ අතර සමබරතාව පවත්වා ගත යුතු බවත් මනාව කියාපායි.
හිතන්න, අපි හැමෝම අලුත් අවුරුදු තීරණ ගන්නවා.. “මම මේ අවුරුද්දේදී අලුත් දෙයක් ඉගෙන ගන්නවා!”, “මම මේ අවුරුද්දේදී අරක කරනවා.. මේක කරනවා වගේ..”.වගේ තීරණ ගොඩක්. ඒත් ඒ තීරණ කීයෙන් කීයක් විතරද අපි ඇත්තටම ක්‍රියාවට නගන්නේ? සමහරවිට අපි අසාර්ථක වෙයි කියලා බය ඇති. මිනිස්සු හිනා වෙයි කියලා බය ඇති. ඒත් අපිට මතක තියාගන්න ඕන, ක්‍රියාත්මක නොවීම කියන්නේ 100% ක්ම අසාර්ථක වීමක් කියන එක.