පරාටේ නීතිය ක්‍රියාත්මක යි: දැන් සිදුවන්නේ කුමක් ද?

Spread the love

බැංකුවලින් ණය ගැනීමේදී ඇප ලෙස පවරා තිබෙන දේපළ ණය ගෙවීම පැහැර හැරියහොත් එම දේපළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ජූනි 30 වන දා මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර තිබේ.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් රජය මාස 3කට අත්හිටුවා තිබූ අතර ඊට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එය මාස 6ක කාලයකට එම නීතිය අත්හිටුවනු ලැබ තිබිණි.

පරාටේ නීතිය යනු කුමක් ද?

යම් දේපළක් බැංකුවට උකස් කර ණය මුදලක් ලබා ගත් පසු, ඒ ණය මුදල සහ ඊට අදාළ පොළී මුදල මුලින් එකඟ වූ නියමිත කාලවකවානුවේදී ගෙවීමට නොහැකි වුවහොත් ඔබ බැංකුවට ණය මුදල ගෙවීම දිගින් දිගට ම පැහැර හැරිය විට අධිකරණ ක්‍රියාවලියකින් තොරව ණය අය කර ගැනීම සඳහා පරාටේ නීතිය හරහා බැංකු වෙත බලයක් ලබා දී තිබේ.

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය අනුව යමෙකු බැංකුවට උකස් කළ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින් බැංකුවට අය විය යුතු ණය හා පොළී මුදල අය කර ගැනීම පරාටේ නීතිය යනුවෙන් සරලව හැඳින්විය හැකි ය.

1990ට පෙර මෙම පරාටේ නීතිය යටතේ එන බලතල ලබා දී තිබුණේ ලංකා බැංකුව, මහජන බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වැනි රාජ්‍ය අංශය යටතේ ක්‍රියාත්මක වූ බැංකු සඳහා පමණි. එහෙත්, 1990 අංක 04 දරන බැංකු මගින් ප්‍රදානය කරන ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ බලපත්‍රලාභී සෑම වාණිජ බැංකුවකට ම, එනම්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු සියල්ලට ම මේ පරාටේ නීතිය යටතේ එන බලය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව හිමි විය.

මේ අතර, 2011 අංක 01 දරන බැංකු මගින් ප්‍රදානය කරන ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන ) (සංශෝධන ) පනත හරහා පරාටේ බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යම් සීමාවන් පනවන ලදී. එනම් යම් ණය මුදලක් රු. මිලියන 05කට අඩු වන අවස්ථාවක එම ණය මුදල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් පරාටේ බලය ක්‍රියාත්මක කිරීමට බැංකුවට හැකියාවක් නොමැති බව ය. එවැනි අවස්ථාවක ණය ආපසු අය කර ගැනීමට උකසට තබා ඇති දේපළ වෙන්දේසි කිරීමට බැංකුවට බලයක් නොමැති අතර, අදාළ දේපළ වෙන්දේසි කිරීමට අවසර ඉල්ලීමට හෝ ණය සහ පොළිය පියවා ගැනීමට බැංකුව අධිකරණය හමුවට යා යුතු ය.

මේ අතර, රු. මිලියන 5ට ඉක්මවන ණය සදහා පරාටේ ක්‍රමය අනුව සම්පූර්ණ ණය හා පොළී මුදල අය කර ගැනීමෙන් පසුව ඉතිරි වන මුදල ණය ලබා ගත් පුද්ගලයාට බැංකුව විසින් ගෙවනු ලැබිය යුතු ය.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම ආර්ථිකයට කෙසේ බලපායි ද?

ඉහත කී පරිදි පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයින් දැඩි අසීරුතාවකට පත්වන බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වානිජ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳුදා (ජූනි 30) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අවම වශයෙන් වසරක කාලයකට අත්හිටුවන ලෙස ය.

2022 වසර වන විට කර්මාන්ත 1,017,000ක් පැවතිය ද, ආර්ථිකය කඩා වැටීමත් සමග කර්මාන්ත 263,000ක් වසා දැමුණු බවත්, එවැනි ආයතනවලට ණය ගෙවීමට නොහැකි වූයේ, ඔවුන්ගේ වරදක් නිසා නොවන බවත් ඔහු පෙන්වා දුන්නේ ය. කෙසේ වෙතත්, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම රටේ ආර්ථිකයට යහපත් වනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ විශ්වාස කරයි.

ඔහු ප්‍රකාශ කළේ, ණය ආපසු නොගෙවන්නන්ට නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීම “ණය ගෙවීම් පැහැර හැරීමට” හේතු වන බව ය.

“ඒ නිසා පරාටේ නීතිය ක්‍රියාත්මක කරන එක හොඳ යි. පරාටේ නීතිය ක්‍රියාත්මක වෙනකොට ණය ආපසු නොගෙවා ඉන්න එක නතර වෙයි. ණය ආපසු නොගෙවීමෙන් බැංකු පද්ධතිය කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා මේක ක්‍රියාත්මක කිරීම හොඳ දෙයක්.”

මේ අතර, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම හරහා යමෙකුට හෝ ව්‍යාපාරිකයෙකුට ගැටලු මතු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් විසඳුම් ලබා දීමට අවධානය යොමු කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසා තිබේ.

Source: bbc.com/sinhala

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *