
ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පවතින වෙළඳ හා ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කර ගැනීමේ අරමුණ ඇතිව ලංකා වාණිජ මණ්ඩලය හා ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය එක්ව සංවිධාන කළ ශ්‍රී ලංකා – බංගලාදේශ ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන හමුවක් අද (17 ) කොළඹ ජායික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.
මෙම ව්‍යාපාරික හා ආයෝජන හමුව සඳහා බංගලාදේශයේ සිට මෝටර් රථ, කෘෂි, තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම්, අසුරුම්කරණ, ඖෂධ, මූල්‍ය, පුනර්ජනනීය බලශක්ති, ඇඟලුම් ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් බංගලාදේශයේ ඉහළ පෙළේ සමාගම් 22 ක ආයෝජකයින් පිරිසක් පැමිණි අතර ශ්‍රී ලංකාවේද ක්ෂේත්‍ර රැසක ඉහළ පෙළේ සමාගම් 100 ක් මෙම ව්‍යාපාරික හමුව සඳහා සහභාගි වූහ. මෙම ආයෝජන හා ව්‍යාපාරික හමුව මගින් ශ්‍රී ලාංකික හා බංගලාදේශ සමාගම් වලට තම ව්‍යාපාරික කටයුතු සදහා සෘජුව සම්බන්ධවීමට වේදිකාවක් සපයනු ඇත.
අද දින මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ බංගලාදේශය දකුණු ආසියානු කලාපයේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව ප්‍රධාන භූමිකාවක් ඉටු කරන අතර ඇඟළුම්, ඖෂධ, නාවික සේවා වැනි කර්මාන්ත අංශවල කැපී පෙනෙන වර්ධනයක් බංගලාදේශය විසින් පසුගිය කෙටි කාලය තුළ ලබාගෙන ඇති බවත් ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර ව්‍යාපාරික සම්බන්ධතා තරකරමින් ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවය.
දෙරට අතර ව්‍යාපාරික හා ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම සදහා ලංකා වාණිජ මණ්ඩලය හා ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමද මෙහිදී සිදුකරන ලදී.
මෙම ව්‍යාපාරික හා ආයෝජන හමුව සඳහා ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් Andalib Elias, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුළංගමුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති Taskeen Ahmed, ශ්‍රී ලංකා – බංගලාදේශ ව්‍යාපාර කවුන්සලයේ සභාපති ආචාර්ය අසංක රත්නායක, බංගලාදේශයේ ව්‍යාපාරිකයින් හා ආයෝජකයින් සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

