
දිට්වා සුළි කුණාටුව වැනි දරුණු ස්වභාවික ආපදාවකට මුහුණ දුන්න ද පැවති තත්ත්වයටත් වඩා ස්ථාවර වෙමින් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 300ක ආර්ථිකයක් කරා එළඹීමට ශ්‍රී ලංකාවට හැකි බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.
තිලකා ජයසුන්දර මහත්මිය මේ බව පැවසුවේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, ආසියානු ඵලදායිතා සංවිධානයේ සහතිකකරණ ආයතනයක් (Certification Body) ලෙස ප්රතිතනය (Accredited) වීමෙන් පසුව පළමු වරට පවත්වනු ලැබූ සහතිකලත් ඵලදායිතා විශේෂඥ (Certified Productivity Specialist) සහතික ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.
මෙම සහතික ප්රදානෝත්සවය අද (29) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29 දා) කොළඹදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ඵලදායිතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් රට තුළ ඵලදායිතා උපදේශනය ප්‍රචලිත කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සහතිකකරණ ආයතනය විසින් 2025 වසර සඳහා සහතිකලත් ඵලදායිතා විශේෂඥයන් 9 දෙනෙක් සහ “ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සහතික ලත් ඵලදායිතා වෘත්තික” සුදුසුකම ලැබූ 34 දෙනෙකුට සහතික පත්‍ර ප්රදානය කරන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තිලකා ජයසුන්දර මහත්මිය මෙසේ ද පැවසුවාය.
“දිට්වා සුළි කුණාටුව” ලංකාවේ ආර්ථිකයට විශාල අභියෝගයක් සිදු කළද නැවතත් රටක් ලෙස නැගී සිටීමට ඉතා හොඳ අවස්ථාවක් ලැබී ඇති බවත් අපගේ අපනයනකරුවන් 550 දෙනෙක් පමණ සෘජුවම පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයට මුහුණ දී තිබුණ ද ඉතා ඉක්මනින්ම එම තත්ත්වය යථාවත් කොට ඇමරිකානු ඩොලර් බිලියන 18ක් වන මෙම වසරේ අපනයන ඉලක්කය සපුරා ගැනීමට රජයට හැකියාව තිබෙනවා. එමෙන්ම දැනට ඩොලර් බිලියන 98.94ක් වන ශ්‍රී ලංකා ආර්ථිකය 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 300ක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කර තිබෙනවා. ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇති එකම විකල්පය ඵලදායිතා සංකල්පය ලංකාවේ සෑම ක්ෂේත්රයක් තුළම ප්‍රචලිත කිරීමයි. ඵලදායිතා සංකල්පය ආර්ථිකය පාලනය කරන ප්‍රධාන හස්තය වන බැවින් ආර්ථික ඉලක්ක සපුරා ගැනීමටත්, ගෝලීය දර්ශක වල ඉදිරියට ඒමට නම් රට තුළ ඵලදායිතා සංස්කෘතියක් ඇති කිරීම ඉතා වැදගත් වෙනවා” ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකාවේ ඵලදායිතා ප්‍රවර්ධනයේ වගකීම දරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ආසියානු ඵලදායීතා සංවිධානයේ (APO) නියෝජිත ආයතනය ලෙස කටයුතු කරයි. ආසියානු ඵලදායිතා සංවිධානයේ ප්රතිතකරණ ආයතනය විසින් “ආසියානු ඵලදායීතා සංවිධානයේ සහතිකලත් ඵලදායිතා විශේෂඥ” සහතිකකරණය හඳුන්වා දී ඇති අතර ඉන් කලාපයේ ඵලදායිතා වෘත්තිකයන්ගේ ප්‍රමිතිය ඉහළ නැංවීම අපේක්ෂා කරනු ලබයි. මෙමගින් ඵලදායිතාවට අදාළ උපදේශනය, පුහුණුව, ප්‍රවර්ධනය සහ පර්යේෂණ යන ඵලදායිතා විසඳුම් කෙරෙහි ඉහළ නිපුණතාවයක් ඇති පුද්ගලයින් හඳුනාගනු ලබයි. ආසියානු ඵලදායිතා සංවිධානයට අයත් රටවල් 21 අතරින් මෙම සහතිකකරණය සිදුකරන 12 රට ශ්‍රී ලංකාව වන අතර මැලේසියාව, වියට්නාමය, මොන්ගෝලියාව, ඉන්දුනීසියාව, පකිස්ථානය, ඉන්දියාව, ඉරානය, සිංගප්පූරුව, තායිලන්තය, පිලිපීනය සහ බංගලිදේශය යන රටවල්වල මෙම සහතිකකරණය මේ වන විට ක්‍රියාත්මක කරනු ලබයි.
