
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගි වීමට මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේය.
එහි දී හානියට පත් ගොවීන්, පශු සම්පත් ගොවීන් සහ ධීවරයින් වෙනුවෙන් ලබා දීමට නියමිත සහන සම්බන්ධයෙන් ජනපතිවරයා ප්‍රකාශයට පත් කළ සහන පහත දැක්වේ.
අපි තීරණය කර තිබෙනවා ඉතා වේගයෙන් නැවත වගාවන් ආරම්භ කිරීමට. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට අයත් ජලාශ විශාල ප්‍රමාණයකට හානි වුණා. ඒවා හැකි ඉක්මණින් ප්‍රතිසංස්කරණය කරමින් මේ මහා කන්නයේ ආරම්භය වෙනුවෙන් අවශ්‍ය ජලය ලබාදීම පිළිබඳ අපි දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගොස් සාකච්ඡා කළා. ඒ වගේම ඒ වගා කටයුතු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සහන ලබා දුන්නා. ඒ අනුව වී, බඩඉරිගු, රට කජු සහ ධාන්‍ය වර්ග වගා කර තිබෙනවා නම් හෙක්ටයාරයකට 150,000ක දීමනාවක් ලබා දීමට අපි තීරණය කළා. හානියේ ප්‍රමාණය අඩු වුණත් මොවුන්ට නැවත නැගිටීමට අපි ධෛර්ය ලබා දිය යුතුයි. වගා භූමිය අහිමි වූ විට එම පුද්ගලයාට ඇතිවන වේදනාව අපි දන්නවා.
සාමාන්‍යයෙන් ගොවියෙක් වගා කළ විට හැමදාම උදේට කුඹුරට ගොස් නීල ගොයම දෙස බලනවා. සතුටු වෙනවා. එවැනි ගොයමක් බිද වැටුණු විට ඇතිවන මානසික පීඩනය අපි දන්නවා. පොහොර සහනාධාරය ලබා ගත් සෑම ගොවියෙකුටම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ලබන සතිය වන විට අදාළ මුදල් බැංකු ගිණුම් වෙත යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම මිරිස්, ලූනු, ගස් ලබු සහ කෙසෙල් වගා කළ අය එළවලු කණ්ඩායමට ඇතුළත් කර හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 02ක් ලබා දීමට තීරණය කර තිබෙනවා. අපනයන කෘෂිකර්මාන්තය පැත්තෙන් යෝජනා ගණනාවක් ආවා. ඒ අනුව ගම්මිරිස්, එනසාල්, කෝපි යන වගාවන්ට වන්දි ලබා දීමට තීරණය කර තිබෙනවා. ඊට අවශ්‍ය කරන දත්ත සියල්ලම ලබා දී තිබෙනවා. එම දත්තවලට අනුව ගම්මිරිස් පැළයකට රුපියල් 250 බැගින් ගෙවන්න තින්දු කර තිබෙනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නව පැළ ලබා දීමටත් එකඟතාව පළ කර තිබෙනවා.
සත්ත්ව පාලන ප්‍රශ්නය ඊළඟට අප මුහුණ දුන් විශාලතම ප්‍රශ්නයක්. කුඹුරකට නම් හෙක්ටයාරයක් කියා මිම්මක් තිබෙනවා. එළවළු වගාවකට නම් අක්කරයක් කියා මිම්මක් තිබෙනවා. නමුත් සත්ත්ව පාලනයට එහෙම මිම්මක් නැහැ. සතුන් කොපමණ සිටිනවාද? සතුන් වර්ග විශාල ප්‍රමාණයක් සිටිනවා. එකම වර්ගයේ සතෙක් වුවත්, ලොකු, පොඩි වශයෙන් සතුන් සිටිනවා. එනිසා විවිධත්වයක් තිබෙනවා.
එසේනම්, අපි මේ විවිධත්වයට සාධාරණය ඉටු කරන්නේ කොහොමද? ඒ වගේම පශු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි විය යුතුයි. ලියාපදිංචි නොමැති සත්ත්ව පාලනය ගැන අප වෙනම සිතන්න අවශ්‍යයි. පළමු පියවර වශයෙනස් ලියාපදිංචි ඒවාට අපි සැලසුම් සකස් කර තිබෙනවා. එහිදී දෙමුහුන් ගවයෙක් නැති වුවහොත් ලක්ෂ දෙකක ආධාරයක් ලබා දෙනවා. උපරිම ගවයන් 10ක් දක්වා රුපියල් ලක්ෂ 20ක ආධාරයක් ලබා දෙනවා. දෙමුහුන් නොවන දේශීය ගවයෙක් වෙනුවෙන් රුපියල් 50,000 බැගින් ආධාර ලබා දෙනවා. උපරිම ගවයන් 20ක් දක්වා රුපියල් ලක්ෂ 10ක ආධාරයක් ලබා දෙනවා.
සත්ත්ව පාලනයේ යෙදෙන සෑම ගොවියෙකුගේ ප්‍රධාන අභිප්‍රාය බවට පත්විය යුත්තේ පශු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි විමයි. අඩුම තරමින් මාස 6න් 6ට තමන් සතුව සිටින සතුන්ගේ ප්‍රමාණය වාර්තා කළ යුතුයි.
ලියාපදිංචි නොකරන ගොවිපළකට පශු වෛද්‍ය සේවාව ලබා දෙනවා නම් යම් මුදලක් අයකරගත යුතුයි. මින් ඉදිරියට සේවාවන් නොමිලේ ලබා දෙන්න බැහැ. ලියාපදිංචි නොවූ ගොවියන්ට පළාතෙන් පළාතට ගවයන් ප්‍රවාහනය කරන්න දෙන්නේ නැහැ. එනිසා ලියාපදිංචි වීම අත්‍යවශ්‍යයි. නමුත් සූකර, එළු සහ බැටළු කියන සත්ත්ව වර්ග තුනෙන් එක සතෙක් අහිමිව තිබෙනවා නම් රුපියල් 20,000ක් උපරිම සතුන් 20ක් සඳහා ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව යළි සත්ත්ව පාලනය නඟාසිටුවීමට එවැනි සැලසුම් අප සකස් කර තිබෙනවා.
ඊළඟට කුකුළු පාලනයේදී එක එක ප්‍රබේදයන් ගණනාවක් තිබෙනවා. මිය ගිය එක් ලේයර් සතෙක් සඳහා රුපියල් 500 බැගින් සතුන් 2000ක් දක්වා ආධාර ලබා දෙනවා. එවිට සතුන් 2000ක් අහිමිව ගියා නම් රුපියල් මිලියනයක් ලැබෙනවා. බ්‍රොයිලර් සතෙකුට රුපියල් 250 බැගින් උපරිම සතුන් 4000ක් දක්වා ආධාර ලබා දෙනවා. ගොවීන් දිරි ගැන්වීම අරමුණු කරගෙන සතුන් ලබා දුන් ගෙවතු කුකුල් ගොවිපළවල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔවුන්ටත් අප රුපියල් 10,000ක ආධාරයක් ලබා දීමට තීන්දු කර තිබෙනවා. නැවත පළාත් සභාවෙන් පැටවුන් නොමිලේ ලබා ගන්නත් පුළුවන්.
ධීවර කර්මාන්තයේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන අයට බෝට්ටු රක්ෂණය කරන්නේ නැතිව කර්මාන්තයේ යෙදෙන්න බැහැ. ධීවර අමාත්‍යාංශයෙන් මත්ස්‍යයන් ඇල්ලීමට බලපත්‍ර ලබා දෙන්නේ ඔවුන්ගේ බෝට්ටු රක්ෂණය කර තිබුණොත් පමණයි. මුහුදේ මත්ස්‍යයන් අල්ලන සෑම දෙනාටම රක්ෂණයක් තිබෙනවා. රක්ෂණයෙන් වන්දි මුදලක් ලැබුණත් අලුතින් බෝට්ටුවක් ලබා ගන්න එම රක්ෂණ මුදල ප්‍රමාණවත් නැහැ. රක්ෂණයෙන් ලැබෙන මුදල සීනෝර් ආයතනයට ලබා දෙන්නත්, සීනෝර් ආයතනයෙන් අලුත් බෝට්ටුවක් ලබා දීමට අප තීන්දුවක් ගත්තා.
දැල් ආම්පන්න වෙනුවෙන් රුපියල් ලක්ෂයක වවුචරයක් ලබා දීමට කටයුතු කරනවා. ඒ වවුචරය සීනෝර් ආයතනයට ලබා දීමෙන් පසු දැල් ආම්පන්න ලබා ගන්න පුළුවන්. නැවත ධීවර කර්මාන්තය දියුණු කරන්න අපිට අවශ්‍යයි. ඒ වගේම පොඩි පොඩි හානි වී තිබෙන බෝට්ටු සීනෝර් ආයතනයෙන් නොමිලේ අලුත්වැඩියා කර යළි ලබා දෙනවා.
ඒ වගේම මිරිදිය කර්මාන්තයේ යෙදෙන ඔරුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් මෙන්ම, ධීවර සමිතිය හරහා උපරිම දැල් පහක් දක්වා එක දැලකට රුපියල් 15,000 බැගින් රුපියල් 75,000ක් ලබා දෙනවා. සමහර වැව්වල පැටවුන් සියයට 35%ක් පමණ ගසාගෙන ගොස් තිබෙනවා. සමහර වැව්වල සියල්ලම ගසා ගෙන ගොස් තිබෙනවා. හානියට පත්ව තිබෙන ජලාශවලට ධීවර අමාත්‍යාංශයෙන් අවස්ථා දෙකකදී පැටවුන් ලබා දෙනවා.
