දිට්වාගෙන් හානියට පත් කර්මාන්තකරුවන් වෙනුවෙන් හර්ෂ – චතුරංග එක් වෙයි

Spread the love

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය යන්ත්‍ර ආනයනයේ දී වැට් බදු නොපනවන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන ආචාර්ය හර්ෂ ද සිල්වා  විපතට පත් කර්මාන්තකරුවන්ට මෙම තත්ත්ව දරා ගැනීමට අපහසු බව ද කියයි.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ ආචාර්ය හර්ෂ ද සිල්වා, “මේ කර්මාන්තකරුවෝ යන්ත්‍ර ආනයනය කිරීමට එකවරක් වැට් බද්ද ගෙවා තිබෙනවා. නමුත් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය යන්ත්‍ර යළි ආනයනය කිරීමේ දීත් ඔවුන්ට යළිත් වැට් බද්ද ගෙවීමට සිදුවෙනවා නම් ඒක යහපත් තත්ත්වයක් නොවෙයි. මොකද ඔවුන්ට යන්ත්‍ර ආනයනයට මුදල් වැය කිරීමටත් සිදුවෙනවා වගේම තවත් බදු කිහිපයකුත් ගෙවීමට සිදුවෙනවා. ඇයි මේ අවස්ථාවේ දී අදාළ කර්මාන්තකරුවෝ ආනයනය කරන යන්ත වෙනුවෙන් වැට් බද්ද ඉවත් කරන්න බැරි” ආචාර්ය හර්ෂ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

සුළි කුණාටුවෙන් විනාශයට පත් යන්ත්‍ර යළි ආනයනය කිරීමට සිදුවන්නේ අදාළ රක්ෂණ ආයතනය විසින් මෙම යන්ත්‍ර ඉවත් කරන ලෙස නිර්දේශ කිරීම හේතුවෙන් බව ද ආචාර්ය හර්ෂ පෙන්වා දුන්නේය.

“2017 දී ඇති වුණ ගංවතුරෙන් හානියට පත් යන්ත්‍ර යළි ආනයනය කිරීමට යම් බදු සහනයක් ලබා දීලා තිබෙනවා. මේ අවස්ථාවේදී 2017 දී ගත් පියවර වැනි පියවරක් ගන්න අපට මේ අවස්ථාවේදී හැකියාව තිබෙනවා ද කියලා මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු කිරීමට මම කැමතියි. යම් කර්මාන්ත ශාලාවක් ආපදා තත්ත්වයෙන් විනාශ වෙලා හෝ හානියට පත් වෙලා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරනවා නම්, ඒකට අදාළ යන්ත්‍ර ආනයනය කිරීමේ දී යළි වැට් බද්දක් ගෙවන්න අවශ්‍ය ඇයි ?, ඒ වැට් එක ඉවත් කරන්න බැරි ඇයි ? ” ඔහු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

මෙහිදී මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් කෝප් කමිටුවට පැමිණ සිටි නිලධාරිනියක් ප්‍රකාශ කළේ ලියපදංචි කර්මාන්තකරුවන්ට නීතිමය වශයෙන් සලසා ඇති ප්‍රතිපාදන යටතේ යම්කිසි සහනයක් ලබාදීමට හැකියාව පවතින බවයි.

“ආනයන රේගු බදු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට විෂය භාර අමාත්‍යවරයාට හැකියාවක් තිබෙනවා. නමුත් තනි පුද්ගලයින් සම්බන්ධයෙන් යම්කිසි තීරණයක් ගන්න අවශ්‍යයි” අදාළ නිලධාරිනිය පැවසුවාය.

මෙහිදී සාකච්ඡාවට සම්බන්ධ වූ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසුවේ අදාළ සහන සැලසීම සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍යාංශය මේ වන විට පියවර ගනිමින් සිටින බවයි.

අදාළ තොරුතුරු ලැබුණු පසු මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සුදුසු පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

‘විපතට පත් කර්මාන්තකරුවන් යළි යන්ත්‍ර ආනයනය කිරීමේ දී වැට් බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ දක්වා සාකච්ඡා කර නොමැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ආචාර්ය හර්ෂ ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් සිය ප්‍රසාදය ද පළ කළේය.

කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ද තම යෝජනාවට එකඟ බව පෙන්වා දුන් ආචාර්ය හර්ෂ කල් නොයවා අදාළ පියවර ගන්නා මෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

“මේ කර්මාන්තවලට සිදුව ඇති හානියට සම්බන්ධයෙන් තක්සේරු කළාට පස්සේ සම්පූර්ණ රක්ෂණය ඇතැම් විට ලැබෙන්න හෝ නොලැබෙන්න පුළුවන්. ඒ නිසා කෝප් කමිටුව යෝජනාවක් හැටියට මේක මුදල් අමාත්‍යාංශයට සහ කර්මාන්ත අමාත්‍යාංශයට යොමු කළ යුතුයි. ඒ වගේම සති දෙකක් ඇතුළත මේ සම්බන්ධ වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙසත් මුදල් අමාත්‍යාංශයන් ඉල්ලීමක් කරමු” කෝප් කමිටුවේ සභාපතිවරයා කමිටු සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *