කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ දෙවන වටිනාම සන්නාමය බවට පත්වෙයි

Spread the love

කොමර්ෂල් බැංකුව 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ සියලුම අංශ අතරින් දෙවන වටිනාම සන්නාමය ලෙසත්, මෙරට පෞද්ගලික අංශයේ වඩාත්ම වටිනා බැංකු සන්නාමය ලෙසත්, ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම තක්සේරු උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වටිනාම හා ශක්තිමත්ම සන්නාම 100 පිළිබඳ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි 2025 වාර්ෂික සමාලෝචනයට අනුව, කොමර්ෂල් බැංකුවට රුපියල් බිලියන 46.6ක සන්නාම වටිනාකමක් පවරන ලද අතර එය පෞද්ගලික බැංකු අංශයේ ඉහළම අගය මෙන් මෙරට සියලුම සන්නාම අතරින් දෙවන ඉහළම අගයයි.

සන්නාමයේ ශක්තිය අතින්, බැංකුව ශ්‍රී ලංකාවේ තුන්වන ශක්තිමත් ම සන්නාමය ලෙස ශ්‍රේණිගත කර ඇති අතර සන්නාම ශක්ති දර්ශකයේ (BSI) ලකුණු 100න් 86.3 ක් ලබාගෙන ඇත. බැංකුවේ ශක්තිමත් සන්නාම කොටස් හිමිකම සහ එහි අනාගත වටිනාකම් උත්පාදන විභවය පිළිබිඹු කරමින් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් කොමර්ෂල් බැංකුවට කීර්තිමත් AAA සන්නාම ශක්ති වර්ගීකරණය ප්‍රදානය කර ඇත.

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි 2025 ශ්‍රේණිගත කිරීම්වලින් බැංකුව ලබාගත් නවතම සම්මාන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ සඳහන් කළේය: .අප අනුගමනය කරන උපායමාර්ගික සන්නාම ගොඩනැගීමේ ක්‍රියාවලියට සහ අපගේ මෙහෙයුම්වල සෑම මානයකින්ම විශිෂ්ඨත්වය අඛණ්ඩව ලබා දෙන බවට මෙම සම්මානනීය ඇගයීම් සාක්ෂි දරයි. මූල්‍ය ශක්තිය පමණක් නොව, ඔරොත්තු දීමේ හැකියාව, විශ්වාසය හා නව්‍යෝත්පාදනය ද සංකේතවත් වන අයුරින් කොමර්ෂල් බැංකුව වර්ධනය වී තිබේ. වැඩිවන සන්නාම වටිනාකම මගින් පෙන්වා දෙන්නේ වසර ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී වැඩ කළ සේවකයින් අතින් ගොඩනැගුණ කොටසයි. මෙම ශ්‍රේණිගත කිරීම් අපගේ සමස්ත කණ්ඩායමේ කැපවීම හා කාර්යසාධනය සඳහා වන උපහාරයක් වන අතර ඔවුනගේ කැපවීම අප අයතනයේ වටිනාකම් සෑම දිනකම ජීවමානව පවතින බවට සහතික කරයි.

2025 ශ්‍රේණිගත කිරීම් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් ලබා ගත් පාරිභෝගික පර්යේෂණ නියැදියක් මත පදනම් වූ අතර ISO 10668 ප්‍රමිතියට අනුකූල තක්සේරුකරණ ක්‍රමවේද භාවිතා කරන ලදී.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කළ කොමර්ෂල් බැංකුව, ඒ සමඟ බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරක් ගෙන තිබේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *