
ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමේදී කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇතැයි ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපුම්වලින් එකක් වන එය වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8කට ආසන්න ප්‍රමාණයකට සමාන බව ද ලෝක බැංකුව පවසයි.
1980 සිට ලොව පුරා රටවල් 123ක් ගත් මේ හා සමාන ප්‍රයත්නයන් 330කට වඩා වැඩි ගණනක් හා සසඳන විට, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම ගැලපීම තියුණු හා වේගවත් බව ලෝක බැංකුව සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ නව ලෝක බැංකු සමාලෝචනයෙන් කියැවෙන්නේ, සාර්ව ආර්ථික ස්ථාවරත්වය බොහෝ දුරට යථා තත්ත්වයට පත් වී ඇති හෙයින්, ශ්‍රී ලංකාවට දැන් වඩාත් සමබර මූල්‍ය උපාය මාර්ගයක් සලකා බැලිය හැකි බව ය.
2021 සිට 2024 දක්වා ශ්‍රී ලංකාවේ තියුණු මූල්‍ය ගැලපීම ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව සමාලෝචන වාර්තාවේ දැක්වෙයි.
2022 සිට ආදායම් ගැලපීම සැලකිය යුතු මට්ටමක පවතින අතර, 2024 වසරේදී බදු-දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 5ක වැඩිවීමක්, එනම් 12.3% දක්වා ඉහළ ගොස් තිබේ.
ගැලපුමෙන් සියයට 75කට වඩා වැඩි ප්‍රමාණයක් පැමිණ ඇත්තේ වක්‍ර බදුවලින් වන අතර ඒවා ප්‍රතිගාමී වන අතර දුප්පතුන්ට අසමාන ලෙස බලපා ඇත.
2029 වන විට ශ්‍රී ලංකාවට වර්ධනය හෝ සමානාත්මතාව අඩපණ නොකර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2ක් දක්වා තවත් ආදායම වැඩි කළ හැකි බව සමාලෝචනය මගින් පෙන්වා දී තිබේ.
වත්මන් අයවැය සීමාවන් තුළ රාජ්‍ය වියදම් වඩා හොඳින් ඉලක්ක කිරීම සහ කළමනාකරණය කිරීම ඉහළ ප්‍රතිඵල ලබා දිය හැකි බව ද ලෝක බැංකු සමාලෝචනය මගින් පෙන්වා දෙයි.
“ශ්‍රී ලංකාව දැන් බොහෝ දුරට තම ආර්ථිකය ස්ථාවර කර ගෙන ඇති බැවින්, අභියෝගය වන්නේ එකතු කර වියදම් කරන සෑම රුපියලකින් ම වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමයි,” මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් පැවසීය. “මෙයින් අදහස් කරන්නේ විශේෂයෙන් වඩාත් ම අවදානමට ලක්විය හැකි අය සඳහා බදු පරිපාලනය නවීකරණය කිරීම, ඍජු බදු කෙරෙහි අවධානය යොමු කිරීම සහ රාජ්‍ය වියදම් කාර්යක්ෂම හා සාධාරණ බව සහතික කිරීමයි”
2022 ආර්ථික අර්බුදය සහ ඉන් පසු තත්ත්වය
දුර්වල පාලනය, අඩු තරගකාරිත්වය, මූල්‍ය විනයක් නොමැතිකම සහ දුර්වල මුදල් ප්‍රතිපත්ති තේරීම් ඇතුළු දිගුකාලීන ව්‍යුහාත්මක දුර්වලතා 2022 වසරේදී ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ අර්බුදයකට ඇද දැමූ බව ලෝක බැංකු සමාලෝචනය මගින් පෙන්වා දී තිබේ.
අඩු ආදායම් එකතු කිරීම සහ අවදානම් සහිත වාණිජ ණය ගැනීම් මගින් උග්‍ර වූ වැරදි මූල්‍ය කළමනාකරණය තිරසර නොවන ණයවලට හේතු විය.
2019 බදු කප්පාදුව මූල්‍ය ආරක්ෂණය දැඩි ලෙස දුර්වල කළ අතර, 2018 දේශපාලන අර්බුදය, 2019 පාස්කු බෝම්බ ප්‍රහාර සහ COVID-19 ඇතුළු කම්පන ආර්ථික අවදානම් තීව්‍ර කළ බව ද එහි දැක්වෙයි.
ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම හේතුවෙන් 2020 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට ප්‍රවේශය අහිමි වූ ශ්‍රී ලංකාව, 2022 අප්‍රේල් වන විට උග්‍ර විදේශ සංචිත හිඟයකට මුහුණ පෑවේ ය.
ඉහළ යන උද්ධමනය සමග ආහාර, ඉන්ධන සහ ඖෂධවල දැඩි හිඟයක් ඇති කළේ ය. ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් මාසයේදී විදේශ ණය ගෙවීම පැහැර හැරි අතර, 2022 වසරේදී මුදල් ඒකකය සියයට 81.2කින් අවප්‍රමාණය වූ බව ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙයි.
2022දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 7.3ක තියුණු ආර්ථික හැකිලීමකට ලක් විය. රැකියා අහිමි වීම් සහ ඉහළ උද්ධමනය දැඩි ආදායම් අහිමි වීම් සහ කුටුම්භවල මිල දී ගැනීමේ ශක්තියේ තියුණු පහත වැටීමක් බවට පරිවර්තනය විය. දරිද්‍රතාව 2019 දී සියයට 11.5 සිට 2023 දී සියයට 27.5 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවට ඇස්තමේන්තු කර ඇත.
ශ්‍රී ලංකාවේ ආදායම් වර්ධනය
අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ආදායම් රැස් කිරීමේදී කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇතැයි ලෝක බැංකුව පවසයි.
ඉදිරිය දෙස බලන විට, බදු-දළ දේශීය නිෂ්පාදිත අනුපාතය සියයට 15ක් හෝ ඊට වැඩි මට්ටමක පවත්වා ගැනීම සඳහා දිගුකාලීන ව්‍යුහාත්මක දුර්වලතා ආමන්ත්‍රණය කිරීම අවශ්‍ය බව ද වාර්තාවේ දැක්වෙයි.
බදු ප්‍රතිපත්ති සංශෝධන හේතුවෙන් 2022 සිට ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5කින් පමණ බදු එකතු කිරීම වැඩි කර ගෙන ඇත.
2022දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.3ක් වූ මෙතෙක් පැවති අවම අගයට සාපේක්ෂව, බදු ආදායම 2024 දී ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.3 දක්වා යථා තත්ත්වයට පත්ව තිබේ.
ලෝක බැංකුවේ නිර්දේශ මොනවා ද?
- ආදායම වඩාත් සාධාරණව හා කාර්යක්ෂමව ඉහළ නැංවීම: අවම ආයතනික ආදායම් බද්දක් වැනි ඍජු බදු වෙත මාරු වීම සහ බදු ගෙවීම පහසු සහ වඩාත් විනිවිදභාවයෙන් යුක්ත කිරීම සඳහා බදු පරිපාලනය ඩිජිටල්කරණය කිරීම.
- අඩු වැඩි වශයෙන් නොව, බුද්ධිමත්ව වියදම් කිරීම: සමස්ත වියදම් තවදුරටත් කපා හැරීම හෝ වැඩි කිරීම කළ නොහැකි බව වාර්තාව අවධාරණය කරයි, නමුත් හොඳ ම ප්‍රතිලාභ ලැබෙන්නේ වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පවතින අරමුදල් වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීමෙන් බව ද එහි දැක්වෙයි.
- අත්‍යවශ්‍ය ඉදිරි පෙළ සේවාවන් ආරක්ෂා කිරීම, වැටුප් ව්‍යුහයන් සරල කිරීම සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට වැටුප් ගෙවන පද්ධති නවීකරණය කිරීම මගින් රාජ්‍ය අංශයේ වැටුප් කළමනාකරණය වැඩිදියුණු කිරීම.
- යටිතල පහසුකම් හිඩැස් පියවා ගැනීම සඳහා ප්‍රාග්ධන ආයෝජන සඳහා නැවත ප්‍රමුඛතාවය දීම, ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති වේගයෙන් නිම කිරීම සහ ව්‍යාපෘති තෝරා ගැනීම, කළමනාකරණය සහ නඩත්තුව ශක්තිමත් කිරීම ද තවත් නිර්දේශයකි.
- වඩා හොඳ ඉලක්කගත ආධාර මගින් සමාජ ආරක්ෂාව වැඩි දියුණු කිරීම ද තවත් නිර්දේශයකි.
source:https://www.bbc.com/sinhala/articles/c36k00r9206o